Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2021 11:16:57 Hours

යුද්ධ හමුදා භටපිරිස් අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සහ මුදවාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ අද (05) දින උදෑසන සිදුවූ නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අතුරුදන් වූ එකම පවුලේ සාමාජිකයින් සොයාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් දියත් කළහ.

අධික වර්ෂාව මධ්‍යයේ යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පස් කන්දකට යටව ජීවිතක්‍ෂයට පත්ව සිටි 23 හැවිරිදි තරුණියකගේ මළසිරුර මාවනැල්ල රෝහලට භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

එසේම, නාය නෑම නිසා පස්කඳුවලට යටවීමෙන් අතුරුදන්ව සිටින එම පවුලේම 57 හැවිරිදි පියා, 56 හැවිරිදි මව සහ 29 හැවිරිදි පුතා සෙවීමේ කටයුතු ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව යුද්ධ හමුදාව මේවන විටත් සිදුකරමින් සිටිති.

එසේම, අද (5) දින උදෑසන වරකාපොල, අල්ගම ප්‍රදේශයේ ඇති වූ නාය යෑමක් හේතුවෙන් පස් කන්දකට යට වී ජීවිතක්‍ෂයට පත්වූ වයස අවුරුදු 70 වන පුද්ගලයෙකුගේ මළසිරුරක් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සොයාගෙන මෘතදේහය වරකාපොළ රෝහලට භාරදුන්හ. එම පවුලේ අනෙකුත් සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ගම්වාසීන් කටයුතු කළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හේවගේ, 611 වන බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි එක්ව මෙම සෝදිසි මෙහෙයුම් අධීක්‍ෂණය කරති.