Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 17:09:03 Hours

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරයි

ගත වූ පැය 48 තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ මීරිගම බෝකුලගම සහ ඇඹුල්ගම ප්‍රදේශයේ වැසියන් වෙත ආපදා සහන සැපයීමේ කටයුතු 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ 142 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සිදුකරනු ලබන මෙම සහන සේවා සැපයීමේ කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුලු අදාළ සේනාංකාධිපතිවරු සහ බලසේනාධිපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබති.

මීරිගම බෝකුලුගම ප්‍රදේශයට ඊයේ (03) දින ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් අවතැන්ව සිරව සිටි 59 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 65 ක පිරිමි පුද්ගලයෙකුගේ ජීවිත ගලවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාර මාර්ගය වෙත ඇදවැටුණු විශාල ගසක් ඉවත් කිරීමත්, පස් කන්ද කඩා වැටීමෙන් සහ ගල් පෙරළීමෙන් හානි වූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමත් 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිදුකළහ.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරනු ලබති.