Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 12:45:45 Hours

ගනර් ‘සුපර් ක්‍රොස්’ හි ආදායමෙන් ආබාධිත රණවිරුවෙකු හට නව නිවසක්

ආබාධිත රණවිරුවකු වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ ලාන්ස් කෝප්‍රල් ඩී. කරුණාරත්න වෙත නව නිවසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව අඟහරුවාදා (11) දින පොල්ගහවෙල, පහළ දෙල්ගොඩ ප්‍රදේශයේ දී ඔහු සහ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි. මෙම නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදල් කාලතුවක්කු රෙජිමේන්තුව මඟින් සංවිධානය කරන ගනර් ‘සුපර් ක්‍රොස්’ හි ආදායමෙන් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් මෙම ආබාධිත රණවිරුවා, 1997 වර්ෂයේදී මින්නේරිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වැඩපළට අනුයුක්තව රාජකාරි කරමින් සිටින අතරතුර තවත් භට පිරිසක් සමඟ සෙට්ටිකුලම් හරහා ගමන් කරමින් සි‍ටියදී අනපේක්ෂිතව එල්ලවූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ අතර, එම ප්‍රහාරයෙන් ඔහු සමඟ ගමන්ගත් අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූහ.

ඒ අනුව ආබාධිත රණවිරුවාගේ වර්තමාන තත්වය සොයා බැලූ මින්නේරිය කාලතුවක්කු හමුදා වැඩපළට අනුයුක්ත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අංශය මගින් ගනර් ‘සුපර් ක්‍රොස්’ හි ආදායමෙන් නව නිවසක් තනාදීමට කටයුතු ආරම්භ කළ අතර, එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය විසින් නොයෙකුත් ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා සහය ලබාදෙනු ලැබීය.

කාලතුවක්කු හමුදා වැඩපළට අනුයුක්ත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ඉල්ලීමකට අනුව කාලතුවක්කු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර විසින් මේ සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් නිවස තැනීමේ වැඩකටයුතු කාලතුවක්කු බලසේනාවේ අධීක්ෂණය යටතේ මාස කිහිපයක් ඇතුලත නිමකරන ලදි.

මෙහිදී කාලතුවක්කු රෙජිමේන්තු අධිපතිතුමා නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය විසින් නව නිවසේ යතුර ලාන්ස් කෝප්‍රල් ඩී කරුණාරත්න හට උත්සවාකාරයෙන් භාරදෙනු ලැබිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී.එම්.ඒ.පී. දිසානායක සමඟින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.

Buy Kicks | Nike