Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:52:09 Hours

8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය වෙත නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ දියතලාවෙහි ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම එම රෙජි‍මේන්තු අධිපති, යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම් විසින් සිදු කරන ලදී.

8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා මූලස්ථානයට පැමිණි රෙජිමේන්තු අධිපතිවරයා එම ඒකක අණදෙන නිලධාරී විසින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භට පිිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව රෙජිමේන්තු අධිපතිවරයා වෙත සම්මාන පෙලපාලියක් ද පිරිනමනු ලැබීය.

ඉන් පසු මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම් හට සංකේතාත්මකව පලකය නිරාවරනය කරමින් පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට ආරාධනා කරන ලදී.

එමෙන්ම, පෙබරවාරි මස 11 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ භික්ෂුන් වහන්සේලා 15 නමක් විෂයෙහිලා දානමය පිංකමක් ද සිදු කරනු ලැබීය.

වර්ග අඩි 4800 කින් යුත් අඩි 80 ක් දිග අඩි 40 ක් පළල මෙම දෙමහල් ගොඩනැගිල්ල මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ඉංජිනේරු සේවා භට පිරිස් හි අධීක්ෂණයෙන් යුතුව යුද හමුදා සේවා බලකා භට පිරිස් විසින් ඉදිකරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතිය 2016 වර්ෂයේ දී ආරම්භ වූ අතර, රුපියල් මිලියන 7 ක් මේ සඳහා වැය කර ඇත.

අනතුරුව 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා අණදෙන නිලධාරීගේ ආරාධනයෙන් රෙජිමේන්තු අධිපති විසින් මෙම අවස්ථාව සිහිවනු වස් එම මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

එමෙන්ම, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් කළ අතර, 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එක් විය.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා යුද හමුදා වත්කම් කළමණාකරන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Sport media | Nike