Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2016 08:54:33 Hours

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් කෙරේ

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක පත් කරන ලද අතර, 2016 නොවැම්බර් මස 04 වන දින සිට මේ දක්වා ඔහු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරනු ලැබීය.

ඒ අනුව දින කිහිපයකට පෙර යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවලගේ තනතුරට මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක පත් කරන ලදි.

ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ 13 ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් සහ කොළඹ 7 රාජකීය විද්‍යාලයෙන් හැදෑරීමෙන් අනතුරුව 1981 අගෝස්තු මස 31 වන දින මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. මූලික කැඩෙට් නිළධාරී පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හදාරා සෑම අතින්ම අතිශූර කැඩෙට් නිළධාරියා වෙත පිරිනමන සම්මාන අසිපත (Sword of Honour) දිනාගැනීමට සමත්විය. 1982 ජූලි මස 17 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායට දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය.

ජාතික ආරක්ෂාව, මානව සම්පත් කළමනාකරණය, යුධ සහ යුධ නොවන පුහුණුවීම්, මානුෂ්‍යවාදී හදිසි සහන සැලසීම, ආපදා අවදානම් අවකරණය, තරුණ සංවර්ධනය, පරිපාලනය, යුද්ධෝපාය සහ උපායමාර්ග යන විෂයන්හි මනා පළපුරුද්දක් ලබා ඇත. මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වගකිව යුතු තනතුරු සියල්ලේම පාහේ සේවය කර ඇත. ඒ අතරින්, පශ්චාත් යුද සමයේදී ආරක්ෂක සේනා ආඥාපති - ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ යුධ සේවා ලේකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ප්‍රධාන තැනක් ගනී. 2006 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා, මානුෂීය මෙහෙයුම් සමයේදී ආරක්ෂක සේනා ආඥාපති - ආරක්ෂක සේනා මූලස්ථානය (කිළිනොච්චිය), 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මන්නාරම ප්‍රදේශය භාර සේනාංකාධිපති යන ධූරයන්හි සේවය කර ඇත. තවද, 551 වන පාබල බළසේනාවේ (නගර්කෝවිල්) බළසේනාධිපති, 533 වන පාබල බළසේනාවේ බළසේනාධිපති (අතිරේක ප්‍රහාරක සේනාව) සහ පරන්තන් සහ අලිමංකඩ ප්‍රදේශවල පාබල ක්‍රියාන්විතවල යෙදුන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න අවධියේදී සේවය කර ඇත. ඊට අමතරව යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ පුහුණු සහ යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකයෙකු වශයෙන්ද සේවය කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරක්ෂක බළසේනා මූලස්ථාන දෙකක් නගා සිටුවීමේ විශිෂ්ඨත්වය මොහුට හිමිවී ඇත. එනම් 2009 වර්ෂයේදී ආරක්ෂක බළසේනා මූලස්ථානය කිළිනොච්චිය සහ 2013 වර්ෂයේදී ආරක්ෂක බළසේනා මූලස්ථානය මධ්‍යම ඔහු විසින් නගාසිටුවන ලදි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වර්ෂයේදී පැවති සහ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 2012 වර්ෂයේදී පැවති යුද්ධ හමුදා අතර සමාරම්භක මාණ්ඩලික සංවාදවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ ගෞරවයද ඔහුට හිමිවී ඇත. මෙම සාකච්ඡා ඉන්පසු නොකඩවා වාර්ෂිකව පැවැත්වෙන අතර, ඉහත රටවල්වල යුද්ධ හමුදා අතර ද්විපාර්ශවීය සම්බන්ධතා පෙර නොපැවැති මට්ටමකට නගාසිටුවීමට මූලික සාධකයක් වී ඇත. 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරන ලද මුල්ම ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණය සැලසුම් කර ක්‍රියාවට නැංවීමේ වගකීම මොහු විසින් සාර්ථකව ඉටුකර ඇත. එමෙන්ම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සංවාදය මුල්වරට ශ්‍රී ලංකාවේ සංවිධානය කළ අවස්ථාවේදී එහි සංකල්පය සහ එහි සැලසුම් නිර්මාණය මොහු විසින් ඉදිරිපත් කරන ලදි. මෙහි මූලික අදියර 2014 නොවැම්බර් මස කොළඹදී සාර්ක්, ආසියානු, චීන සහ රුසියානු ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ඔහු කරන ලද ගවේෂණ දෙස් විදෙස්හි ඉදිරිපත් කර ඇත. ඔහු අධීක්ෂණය කළ ගවේෂණ සම්මානයට ප්‍රාතවී ඇත. ඔහු ‘සංහිඳියාව තුල සන්නද්ධ හමුදා කාර්ය භාරය’ යන තේමාවෙන් 2012 වර්ෂයේ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කළ ගවේෂණය විශේෂ තැනක් ගනී.

මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක 2013 වර්ෂයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මූලධර්ම සහ පුහුණු ලෙස රාජකාරි කළ අවධියේ ත්‍රිවිධ හමුදාවේ මානව සම්පත් වර්ධනය කිරීමට ගත් පියවර ඇගයීමක් වශයෙන් 2014 වර්ෂයේ පැවති ආසියානු පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සම්මේලනයේ දී මානව සම්පත් නායකත්වය පිළිබඳ සම්මානය පිරිනමා ඇත.

ජාතික සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව තුල වෘත්තීමය හැකියාවන් සහ නායකත්වය වර්ධනය කිරීමෙහිලා 2000 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කල හමුදාමය නොවන සංවිධානයක් ලෙස යොවුන් සේනාංකය ගොඩනැගීමට මොහු තෝරාගත් අතර එම වගකීම ඉතා සාර්ථකව ඉෂ්ඨ කරන ලදි.

බංගලාදේශයේ, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයෙකු සහ පශ්චාත් ජාතික ආරක්ෂාව විද්‍යාලත් උපාධිධාරියෙකු වන මොහු, පකිස්ථානයේ ජාතික ආරක්ෂක විද්‍යාලය වෙතින් පිරිනමන ලද ආරක්ෂාව සහ මූලෝපාය අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. එසේම ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය මගින් පිරිනමන ලද පුද්ගල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන ඇත. දේශීය පාඨමාලාවන්ට අමතරව, බංගලාදේශය, චීනය, ඉන්දියාව, පකිස්ථානය, ස්විට්සර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල්වල පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා ඇත.

මේජර් ජෙනරාල් ගුණතිලක යුද බිමේදී දැක්වූ නිර්භීතකම සහ දක්ෂතා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත. දීර්ඝකාලීන කීර්තිමත් නොකැළැල් සේවය උදෙසා ඔහුට විශිෂ්ට සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කම ප්‍රදානය කර ඇත.

ලුෂානි ගුණතිලක සමග යුග දිවියට පා තැබූ මේජර් ජෙනරාල් ගුණතිලක දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. මොහු පැසිපන්දු, පාපන්දු, ස්කොෂ්, පිහිණුම් සහ ප්‍රායෝගික පිස්තෝල වෙඩිතැබීම් ප්‍රියකරයි.

තම කණ්ඩායම දිරිගන්වා ඉලක්ක ජයගැනීමට බලවත් කිරීම ඔහුගේ අභිප්‍රායයි.

url clone | Nike Shoes, Sneakers & Accessories