Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2024 17:38:55 Hours

2024 ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’ අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ඥාණාරාම විහාරස්ථාන සීමාමාලක පරිශ්‍රයේදී පැවති 2024 ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’, මැයි මස 23 දින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශීය නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් සීමාමාලකයේදී බුදුරජාණන් වහන්සේ විෂයෙහිලා මල් පූජා කිරීමෙන් අනතුරුව නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති (ආචාර්ය) මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සිල් සමාදන් විය.

ඉන් අනතුරුව, ‘හුණුපිටිය ඥාණාරාම විහාරස්ථානයේ’ විහාරාධිපති (ආචාර්ය) කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළේය. එම අනුශාසනාවේදී, (ආචාර්ය) කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ විසින් ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන ලදී. පසුගිය වසරේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරන ලද ‘අපාය’ සහ මෙවර ඉදිකරනු ලැබූ ‘වංකගිරිය’ පිළිබඳව ද එහිදී සඳහන් කෙරිණි.

බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විදුලි බුබුළු දැල්වීමෙන් අනතුරුව ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ දන්සැල සහ එම පරිශ්‍රයේ පැවති වෙසක් කලාපයේ නිර්මාණයන් ද විවෘත කෙරිණි.

පසුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ ‘වංකගිරිය’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ‘වෙස්සන්තර රාජ මාලිගාව’ සහ ‘වංකගිරිය’ තේමාව ඔස්සේ 2024 ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මෙම නව නිර්මාණය ඉදිකරනු ලැබීය.

උත්සවයේ සමාප්තියට පෙර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිස ‘වංකගිරිය’ පරිශ්‍රයේ සංචාරයක නිරත වූහ.