2024-09-27 19:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි හි සංචාරයක

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා යුද බිමේ නිර්භීතව සටන්කර රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත වූහ.

‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩී.යූ කරුණාරත්න ආර්එස්පී යූඑස්පී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන්, එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සෑම රණවිරුවෙකු වෙතම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණි පිරිස එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පසුව එම රණවිරුවන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට ද එක්වූහ. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය වෙත සමරු තිළිණයන් ද පිරිනැමීය.

අභිමංසල - 1 සුවතා නිකේතනයෙන් නික්ම යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් එක් වූහ.

Accessibility

Reset
Sri Lanka Army