Defender of the Nation
2024-10-10 21:28:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙතින් බ්‍රහස්පතින්දා (10) දින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති 75 වන සංවත්සර දින සැමරුම් පෙළපාලියේ එක් කොටසක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා සහ නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ. රාජිත කේ රණසිංහ ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර එහිදී ප්‍රථම නිල මුද්දරය මුද්‍රා තබා මහජනතාව වෙත නිකුත් කරනු ලැබීය.
එහිදී, තැපැල්පතිතුමන්ගේ සුරතින් ප්‍රථම නිල මුද්දරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තැපැල්පතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සමරු මුද්දරයක් පිළිගන්වනු ලැබීය.
ඉන් අනතුරුව, සංවත්සර දින සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, විධායක ජෙනරාල්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.