සෝදිසි මෙහෙයුම් තවදුරටත්
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (02) දින ඔඩ්ඩන්කුලම්, කොල්ලන්කුලම්, කොක්කුතුඩුවායි සහ කට්කුලම් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මිමි 60 මෝටාර් බෝම්බ 08 ක්, හඳුනා නොගත් එල්ටිටිඊය විසින් නිෂ්පාදිත බෝම්බ 01ක් සහ පුද්ගලනාශක බෝම්බ 08 ක් සොයා ගෙන ඇත.
එදිනම (02) යුද හමුදා භට පිරිස් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලනාශක බෝම්බ 01 ක්, ටි-56 මැගසින් 02ක් සහ ටි-56 පතෙරාම් 06 ක් පුනායි සහ නෑගෙනහිර පලාතේ පුනානි සහ ඌරියන්කඩ්ඩු ප්‍රදේශවල දී සොයා ගෙන ඇත.
‘අප මාතෘ භූමිය ආසියාවේ ආශ්චර්යය කරමු’ - යුද හමුදාපතිතුමා එළඹුනු නව වසර සැමරීමේ උළෙලේ දී ප්‍රකාශ කරයි
සාමයේ අරුණ රැගෙන පැමිණි අසිරිමත් නත්තලෙන් පසු එළඹුනු 2011 නව වසර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ද සමරනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී සඳුදා (03) දින පෙරවරුවේ දී සැමරුම් උත්සවයක් පැවැත්විනි.
සැමරුම් උත්සවය ආරම්භ කරමින් යුද හමුදාපතිතුමා යුද හමුදා ධජය එසවීමෙන් අනතුරුව සියලු දෙනා ජාතික ගීතය සහ යුද හමුදා ගීතය ගායනා කළෝය. මෙහි දී රාජ්‍ය සේවා ප්‍රතිඥාව ද කියවීමෙන් පසු යුද හමුදාපතිතුමා විසින් රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේ රටේ උන්නතිය හා මහජන සේවය සඳහා අපක්ෂපාතිව කැපවිය යුතු බවයි. (සම්පූර්ණ කතාව පහත දැක්වේ.)
අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සමග සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය ඇතුලු වෛද්‍ය බලධාරීන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමට හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා යුද හමුදා රෝහලේ සංචාරය කළ අතර, එහි දී එම රණවිරුවන්ට ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කරන ලදි. යුද හමුදාපතිතුමාගේ මෙම රෝහල් සංචාරය සඳහා සේවා වනිතා යුද හමුදා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ද එක්වුහ.
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ජේ ජයසූරිය යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින්
2011 නව වසර වෙනුවෙන් නිකුත් කරනු ලබන පණිවුඩය
2011 නව වර්ෂය අදින් අප ආරම්භ කරන්නේ මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් රාශියක් හිස මත තබා ගනිමිනි. මාතෘ භූමිෙය් උත්තරීතර නිදහස වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුම් විජයග්‍රාහීව අවසන් කර දෙවර්ෂයක් සම්පූර්ණ වන වසර ලෙස 2011 වර්ෂය නම් කිරීමට පුළුවන. මීලඟට අපගේ වගකීම වන්නේ සංවර්ධනයෙන් රට ආශ්චර්යයක් බවට පත්කිරීමේ ඒකායන අරමුණ යථාර්ථයක් බවට පත්කිරීමට උපරිම දායකත්වයක් ලබාදීමයි. සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ සංග්‍රාමය දියත් කිරීමේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට ඇත්තේ සුවිශාල වගකීමකි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය සාර්ථකව ජයගෙන දැයේ අපමණ ගෞරවාදරයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදාවට සංවර්ධන සංග්‍රාමයේ අභියෝග ජයගැනීමට ද ශක්තිය ඇති බව ඔබ හට මතක් කර දීමට කැමැත්තෙමි.
සංවර්ධන සංග්‍රාමයේ අභියෝග ජයගැනීමට ද ශක්තිය ඇති බව ඔබ හට මතක් කර දීමට කැමැත්තෙමි. මෙම අභියෝග පෙරදැරි කරගනිමින් උදා වූ නව වසරට ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා වශයෙන් ඔබ සැම වෙත සුභාශිංසන ගෙන ඒමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. ශ්‍රී ලංකා යුද හමුදාව මාතෘ භූමියේ ඓතිහාසික සන්ධිස්ථානයකට දැන් එළැඹ ඇත. ඒ සංවර්ධන ආශ්චර්යයට පණ පෙවීමේ දැවැන්ත කාර්ය භාරයට දායකත්වය ලබාදීමයි. දැනටමත් රජයේ පූර්ණ විශ්වාසය නිසාම ගොඩනැගිලි ඉදිකිරීම්, මහා මාර්ග සංවර්ධන, යටිතල පහසුකම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වගකීම් රාශියක් අප වෙත ලබා දී ඇත. විශේෂයෙන්ම යුද හමුදාවේ ශ්‍රම ශක්තිය, අප්‍රමාණ කැපකිරීම්, වැඩි ඵලදායීතාවය සහ සංවර්ධන කාර්යයන් අඩු පිරිවැයකින් ඉටුකරගැනීම නිසා අප දිනූ දේශයට සංවර්ධනයෙන් ලැබෙන පිටුවහල ඉමහත්ය. තවද, කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති ආර්ථිකයක් සතු අප මාතෘ භූමියේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ද ලැබෙන දායකත්වය පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් රජය සහ ජනතාව අප වෙත තබා ඇත. රට සංවර්ධනයෙන් ලොව ඉහලම තලයකට පැමිණ එහි ප්‍රතිලාභ ලැබෙන විට නිහතමානී අභිමානයක් අප සිත් තුලට නැගෙන්නේ සංවර්ධනයට අප දුන් සාමූහික මෙන්ම උදාරතර කැපකිරීම් නිසාවෙනි.
අප සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය. එනම්, තවමත් මානුෂීය මෙහෙයුම් අවසන් වී නැතැයි යනුවෙනි. මෙහි දී එතුමා සඳහන් කළේ යුද්ධය පිළිබඳව නොව, යුද්ධය අවසන් කළත් ඉදිරියටත් මානුෂීය සංවර්ධනයන් සිදුකළ යුතු බවයි. ඒ අනුව මානුෂීය සංවර්ධනයට දායකවීම ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වූ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම මනස උසස් තලයකට ෙගන ඒම, විශේෂයෙන්ම තිස් වසරක් පුරා අඩාල වූ උතුරු නැෙඟනහිර ජනතාවෙග් මානුෂීය සංවර්ධනය හා එම ප්‍රදේශවල සංවර්ධනය ප්‍රධාන තැනක් ගනී. ඒ සඳහා අප යුද හමුදාවට ඇත්තේ භාරදූර කටයුත්තක් මෙන්ම සුවිශාල වගකීමකි. ඒ වෙනුවෙන් අප සෙබළුන් සාර්ථකව විවිධ සංවර්ධන කාර්යයන්හි නියැලෙන බව මා පුද්ගලිකවම දන්නා කරුණකි. එම උතුම් සේවාව සමස්ත රජයේ හා ජනතාවගේ ප්‍රශංසාවට ලක්වී ඇති බව මා ඔබ හට දැනුම් දෙන්නේ යුද හමුදාපති වශයෙන් මහත් වූ ආඩම්බරයෙනි. අප ජනතා හදවත් තුල ඇති කරගත් විශ්වාසය මේ සංවර්ධන ප්‍රයත්නය කෙරෙහි ද පවතින බව ඔබ සැම වටහාගත යුතුය.
යුද හමුදාව දැන් වෘත්තීමය එමෙන්ම ලෝකයේ අවධානය දිනාගත් විශිෂ්ට විනයගරුක හමුදාවකි. එම කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කරගැනීම යුද හමුදා සාමාජිකයින් වශයෙන් ඔබ සතු වගකීමක් බව මා අවධාරණය කරමි. අප සෙබළුන්ගේ චිත්ත ධෛර්යය මෙන්ම මානසිකත්වය ද උසස් ලෙස තබාගැනීම කාලෝචිත බව මා දකිමි. එමෙන්ම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් සිදුකළ අප සොල්දාදුවන්ගේ කැපකිරීම සදානුස්මරණීය බවත්, එය නිරන්තර ඇගයීමකට ලක්විය යුතු බවත් මා විශ්වාස කරමි. තවද, සාමූහිකව ලබාගත් මේ විජයග්‍රහණය කිසිඳු පෞද්ගලික වාසි තකා පාවා නොදීමටත් රටේ ආරක්ෂාව පිළිබඳව දිවි හිමියෙන් කටයුතු කිරීමත් අපගේ වගකීමකි. සංවර්ධනයෙන් පෙරට යාම සේම ශ්‍රී ලංකා භූමිය තුල ත්‍රස්තවාදයට නැවත ඉස්මතු වීමට ඉඩ නොතැබීමට සීරුවෙන් සිටිය යුතු බව මා අවධාරණය කරමි. කුමන ආකාරයක දේශද්‍රෝහි බලවේග ජාත්‍යන්තර තලයේ දී හිස එසවූවත් අප මාතෘ භූමිය තුල කිසිදු දේශද්‍රෝහී බලවේගයකට නැගී සිටීමට ඉඩ නොතබන බවත් යුද හමුදාපතිවරයා ලෙස වගකීමෙන් ප්‍රකාශ කරමි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාෙග් මග පෙන්වීම යුද හමුදාවේ ඉදිරි ගමනට සුවිශාල ශක්තියක් බව මතක් කරනු කැමැත්තෙමි.
වෘත්තීය හමුදාවකට අවශ්‍ය පුහුණුව, නව තාක්ෂණය හා වෘත්තීමය දැනුම ලබාදීමට, සෙබල මානසිකත්වය ඉහල නැංවීමට ආරක්ෂක සේනා මටිටමින් පුහුණු පාසල් ඇති කර මේ වන විටත් එම කටයුතු සිදු කරමින් පවතී. ආරක්ෂක ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ මානුෂීය මෙහෙයුම්වල දී ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා යොදා ගත් යුද උපක්‍රම, ප්‍රතිත්‍රස්තවාදී සටන් ක්‍රම පිළිබඳව අප සතු අත්දැකීම් විදේශිය හමුදාවන් වෙත ලබාදීමටත්, ඒ සඳහා විශේෂිත වූ පාඨමාලාවන් යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට හඳුන්වා දී ඇත. මෙම පාඨමාලාවට සහභාගීවිමට මේ වනවිටත් විදේශීය හමුදාවන් කැමැත්ත පළකර ඇති අතර, ජනවාරි මාසයේ සිට මෙහි පළමු අදියර එම හමුදාවන්හි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වනු ඇත. මීට අමතරව මෙම වර්ෂය මැද භාගයේ දී විදේශීය හමුදාවන් සහභාගී වන දැවැන්ත ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත’’. මෙමගින් අප යුද හමුදාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව ඉහල තලයකට ගෙන ඒමටත් ජාත්‍යන්තර තලයෙන් මාතෘ භූමියට එල්ල වන අපවාද, චෝදනා, දුර්මතයන්ට නිසි පිළිතුරු දීමටත් ත්‍රස්තවාදයටම පමණක් එරෙහිව සිදු කරනු ලැබූ මානුෂීය මෙහෙයුම් කෙතරම් විනයානුකූලව ජාත්‍යන්තර යුද නීති අනුගමනය කරමින් සිදු කළා ද යන්නත් මෙහි දී ප්‍රත්‍යක්ෂ කිරිමට මහඟු අවස්ථාවක් ද උදාවනු ඇත.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරිවල නියුතු අප සෙබලුන් මේ මොහොතේ සිහිපත් කරන අතර, ඔවුන් මාතෘ භූමිය හා යුද හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ඉතා විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනු ලබයි. මෙම කීර්තිමත් සේවය තුලින් ඉදිරියේ දී තවතවත් වරප්‍රසාද අප යුද හමුදාවට ලැබෙනු ඇත. එබැවින් සාමසාධක හමුදාවල සේවය කිරිමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම සෙබලුන් මාතෘ භූමියේ කිර්තිය ලොව පුරා පැතිරවීමට සිය උපරිමයෙන් දායකවිම අත්‍යවශ්‍ය වනු ඇත.
සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා රජය විසින් අප සෙබලුන්ගේ සුබසාධන කටයුතු, ඔවුන්ගේ පහසුකම් හා පරිපාලන දුෂ්කරතා අවම කිරීමේ පියවර මේ වන විටත් කඩිනම් කර ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශය සහ එහි සේවා වනිතා ඒකකය ස්වෙච්ඡාවෙන් සෙබලුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ප්‍රශංසනීය සේවාවන් සහ ව්‍යාපාති රැසක් ආරම්භ කර ඇත. ඒ අනූව ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ ඉඩමක් සතු එහෙත් නිවසක් නොමැති විශේෂයෙන්ම ආබාධිත සෙබලුන් වෙනුවෙන් නිවෙස් තනාදීම දිවයින පුරා මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වේ.
යුද හමුදා සේවා වනිතා ශාඛාව මියගිය රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් හට නිවාස තනාදීම, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සිදු කරන විශේෂිත සැත්කම් වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම, රණවිරු පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වය ලබාදීම ඇතුලු අධ්‍යාපනික පහසුකම් සැපයීම සහ ‘බ්‍රේව් හාර්ට්ස්’ ව්‍යාපෘතිය වෙනුවෙන් අරමුදල් රැස් කරමින් සිදු කරන ස්වෙච්ඡා මෙහෙවර මෙහි දී සිහිපත් කළ යුතුය.
‘බ්‍රේව් හාර්ට්ස්’ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්වෙමින් ‘අභිමංසල’ නමින් අනුරාධපුරයේ ඉදි වන පළමු සුවසහන මධ්‍යස්ථානය මේ වර්ෂයේ මුල් භාගයේ දී එම සෙබලුන් අතට පත් කිරීමට නියමිතය. එහි දෙවන අදියර වශයෙන් දකුණු හා වයඹ පලාත්හි එවැනිම වූ සුවසහන මධ්‍යස්ථානයන් මෙම වර්ෂය තුල ඉදි කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවති. තව ද ආරක්ෂක ලේකම්තුමාගේ සංකල්පයක් මත රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේ ඉදි වන එවැනිම වූ සුවසහන මධ්‍යස්ථානයක් නුදුරේදීම විවෘත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව ඉතිහාසය පුරාම ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂිත දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කර ඇත. එම දක්ෂතා පරිපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා තවදුරටත් ඉහල නංවමින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂතා දක්වමින් මාතෘ භූමියේ හා යුද හමුදාවේ කීර්තිය ඉහල නැංවීමට අප අදිටන් කර ගත යුතුය. යුද හමුදා ඉතිහාසයේ වසර 12 කට පසුව ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්ණ ප්‍රදානෝත්සවයක් ජනවාරී මාසයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව මෙය පැවැත්වීමට පියවර ගෙන ඇති අතර, එමඟින් ඔවුන්ගේ දක්ෂතා ඇගයීමටත් සිය දක්ෂතාවයන් ඔප් නංවා ගැනීමටත් මහත් රුකුලක් වනු ඇත.
අප මාතෘ භූමියේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් රුදුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද වැදි ලක් මවගේ අනාගත පරපුරට නිදහස් නිවහල් දේශයක් උරුම කරදීම සඳහා තම උතුම් ජීවිත පරිත්‍යාග කළ හා ආබාධිත තත්වයට පත් නිලධාරීන් සහ සෙසු නිලයින් මා මේ අවස්ථාවේ දී ගෞරවපූර්වකව සිහිපත් කරන අතර, තුවාල ලබා මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියලුම දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. එමෙන්ම අප සමගින් රාජකාරියෙහි යෙදී සිටිය දී මියගිය, තුවාල ලැබූ සිවිල් සේවක පිරිස ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. එමෙන්ම අප හට දෛනික පාලන රාජකාරී සඳහා සහාය වන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සේවය මා මේ මොහොතේ සිහිපත් කරමි.
අවසාන වශයෙන් ලැබුවා;වු 2011 නව වසරේ දී ද විනයගරුක හා ප්‍රතාපවත් විශිෂ්ට හමුදාවක් ලෙස ලත් විරුදාවලිය තවදුරටත් නිකැලැල්ව පවත්වා ගැනීමට ඔබ සැම කැපවිය යුතු බව අවධාරනය කරන අතර, දූෂණයෙන්, වංචාවෙන් හා සම්පත් නාස්තියෙන් තොරව නීතිගරුකව හා විනයගරුකව ඔබ වෙත පැවරෙන වගකිම් නොපිරිහෙලා ඉටු කිරිමට අවශ්‍ය ශක්තිය ද, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද, දළදා සමිදුන්ගේ මෙන්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ද සියලු දෙනාටම ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටමත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
ඔබ සැමට සුභ අනාගතයක්.
|