ආර්පීජී බෝම්බ 114 සොයා ගත් යුද උපකරණ අතර
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නාවත්කුලම්, මරුදමඩු, පාලමොඩෙයි, කොල්ලන්කුලම්, විශ්වමඩු, මුරුසුමොඩෙයි, කුමුලමුණෙයි සහ වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල බ්‍රහස්පතින්දා (17) දින දියත් කල සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 31 ක්, මිමි 130 කාලතුවක්කු උන්ඩ 02 ක්, පුපුරා නොගිය මර උගුල් 08 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 05 ක්, ටී - 56 ගිනි අවි කොටස් රැසක්, මිමී 81 මෝටාර් අවි කොටස් 02 ක්, ආර්පීජී බෝම්බ 114 ක්, එස්එම්ජී පතරොම් 06 ක්, විදුලි ඩෙටනේටර 16 ක්, මිමී 12.7 පතරොම් 1100 ක්, ටී - 56 පතරොම් 450 ක්, එම්පිඑම්ජි පතරොම් වැල් (ලින්ක්) 140 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 256 ක්, අත් බෝම්බ 02 ක්, ටී - 56 ගිනි අවි 01 ක්, ටී - 56 පතරොම් අඩංගු මැගසින් 02 ක් සහ එල්ටීටීඊ ගමන් මල්ලක් සොයා ගැනීමට සමත් වුහ.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් මයිලන්කුලම්, වෙලාරසින්නකුලම්, මරුදන්කුලම්, කුලන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, කෝවිල්පුලියන්කුලම්, නාරික්කුලම්, උදෙයිආඩි සහ අඩම්පන් යන ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ දී එදිනම (17) පුද්ගල නාශක බෝම්බ 207 ක් හා මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයා ගෙන ඇත.
ත්‍රස්තවාදයෙන් තොර මව්බිම ජාතික විජයග්‍රහණයේ පළමු සැමරුම ඉතා උත්‍කර්ෂවත් අයුරින්
නිදහස්, නිවහල් ෙද්ශයක සැබෑ උරුමකරුවන්වීමට ලැබීම ඕනෑම දේශයක ජනතාව ලබන මහත් භාග්‍යයකි. එවන් භාග්‍යයක් ශ්‍රී ලාංකික අපට ද උරුම වී තිබේ. තිස් වසරක් පුරාවට මුළු දේශයම ගිලගෙන තිබූ කුරිරු ත්‍රස්තවාදය පරදවා ලැබූ ෙඑතිහාසික විජයග්‍රහණයේ පළමු සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (18) දින පෙරවරුවේ දී පැවැත්විණි. සියළු රණවිරුවෝ දේශය වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම මෙම ජාතික විජයග්‍රහණ දින ෙපළපාලිය පැවැත්වීමට හේතුවී තිබේ.
මෙම අවස්ථාව සඳහා වැඩසටහනේ ප්‍රථම අදියරේ දී ත්‍රිවිධ හමුදාපතිවරැ, පොලිස්පති, කථානායකවරයා, ආරක්ෂක ලේකම්, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍යවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා පරිවාරක රථ පෙරටු කොටෙගන අතිගරු ජනාධිපතිතුමා සම්ප්‍රාප්ත විය. එම රාජ තාන්ත්‍රිකයින් විසින් අතිගරු ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය පිළිගනු ලැබූහ.
තව ද, මෙම සැමරුම් අවස්ථාවට ආගමික නායකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, විදෙස් රාජතාන්ත්‍රිකයින්, තානාපතිවරුන් හා ප්‍රභූවරුන් විශාල පිරිසක් එක්වූහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති සමගින් ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රධාන ධජය පිහිටුවා ඇති ස්ථානයට පැමිණියහ. අනතුරුව චාරිත්‍රානුකූලව ජය සක්බෙර හා මඟුල්බෙර මධ්‍යයේ දවසේ වැඩසටහන ආරම්භ කරමින් ජාතික ධජය ජනාධිපතිතුමා විසින් ඔසවන ලදි. අනතුරුව හමුදා සෙබලියන් කණ්ඩායමක් ජාතික ගීය ගායනය කළෝය.
එම අවස්ථාවේ දී අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු සැම විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කලේ මව්බිමේ නිදහස හා ස්වෛරීභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමටය. අනතුරුව ප්‍රධාන පීඨිකාවට ජනාධිපතිතුමා පැමිණෙන විට සියළු ආරාධිතයින් නැඟිට එතුමාට සිය ගෞරවය පුද කළහ. ගාලු මුවදොර ගුවන්තලය වෙත නොකඩවා කාලතුවක්කු උණ්ඩ 21 ක් මුදාහැරියේ ජනාධිපති උත්තමාචාර පුද කිරීමටය. ජනාධිපතිතුමා විවෘත රථයක නැඟී සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පෙළපාලියේ ප්‍රධාන අණදෙන්නා වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊට එක්වූහ. ත්‍රිවිධ හමුදා සෙබළුන් විසින් චාරිත්‍රානුකූල ජනාධිපති උත්තමාචාර ද ජනාධිපතිතුමා වෙත පුද කළෝය.
යුද, නාවික, ගුවන් හමුදාවල, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායේ සන්නද්ධ රථවල නැඟි එහි නිලධාරීන් හා සෙබළුන් ජනාධිපතිතුමාට සිය ආචාරය පුද කරමින් ගමන් කළ අතර ත්‍රිවිධ හමුදා හා පොලිස් පෙළපාලිය ද පැවැත්විණි. සන්නද්ධ රථ, ආධාරක රථ, ඉංජිෙන්රු උපකරණ ඇතුලත් රථ, කාලතුවක්කු, මල්ටි බැරල් සවි කළ රථ ඇතුළු සන්නාහ සන්නද්ධ රථ මෙම පෙළපාලියේ ගමන් කරවීය. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් වන්නි හා නැඟෙනහිර මානුෂීය මෙහෙයුමට තම දායකත්වය සැපයූ නැඟෙනහිර ආරක්ෂක සේනාවේ, යාපනය ආරක්ෂක සේනාවේ සහ වන්නි ආරක්ෂක සේනාවේ සෙබළුන් 9000ක් පමණ මෙම පෙළපාලිෙය් ගමන් කළ අතර, යුද්ධයේ දී තුවාල ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් රෝද පුටුවල නැඟී මෙම පෙළපාලියේ ගමන් ගත්හ. ගාලු මුවදොර මුහුදු තීරයේ හා ගුවනේ ශ්‍රී ලංකා හමුදා හා ගුවන් හමුදා යාත්‍රා ගමන් කළ අතර, අඩි 6000 ක උසක සිට පනිමින් ත්‍රිවිධ හමුදා පැරෂුට් සාමාජිකයින් සිය දස්කම් පෑහ. වන්නි ෙමහෙයුමේ අනගි සේවයක් ඉටුකළ නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙම පෙළපාලියේ අණදෙන්නා ලෙස කටයුතු කළේය. බ්‍රිගේඩියර් කේ.ආර්.පී රොවෙල් මෙහි දෙවන අණ දෙන්නා වූවේය.
විජයග්‍රහණ සැමරුම් උත්සවය අමතා අතිගරු ජනාධිපතිතුමා කළ කථාව - 2010.06.18
අද මම ජාතික ධජය ඔසවන කොට මීට වසරකට කලින් මුළු රටේම ජාතික ධජය ඔසවාගෙන අෙප් ජාතිය නඟපු අභීත හඩ මට සිහිපත් වුනා. එදා රට එක් සේසත් වුන බව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික ධජය පෙරටුකරගෙන අපේ ජනතාව ලෝකයටම මුළු ප්‍රකාශ කලා. එදා ඒ ජාතික ධජය ලෙළ දුන්නේ සටන් බිමේ දී නිදහස සඳහා දිවි දුන්න රණවිරුවන්ගේ අවසන් සුසුම් වැදිලා. රට වෙනුවෙන් දිවිදුන් ඒ සියලු රණවිරුවන් මේ නිදහස් රටට හිරු නැඟෙන සැම දිනයකම මා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබත් සිහිපත් කළ යුතුයි.
එපමණක් නොවෙයි ජනාධිපතිවරු, ජනාධිපති අපේක්ෂකයෝ, මැති ඇමැතිවරු දෝරේඅප්පා, අමිර්තලිංගම්, ලක්ෂමන් කදිරගාමර්, නීලන් තිරුචෙල්වම් වැනි දේශපාලඥයෝ ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් වෙලා මේ බිමේ සැතපෙනවා. ගම් බිම්වල, මංමාවත්වල ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වෙලා මේ රටේ පුරවැසියන් විශාල පිරිසක් සමඟ අපේ දරු පැටවුන් ද දහස් ගණනක් සැතපෙන බවත් අපි සිහිපත් කරන්න ඕනැ. අද මේ මහ පොළවේ තිබෙන්නේ ගල්, වැලි, බොරළු නොවෙයි; අපේ මුතුන් මිත්තන්ගේ සම් - මස් - ලේ. එෙස් දිවිදුන් අය මේ බිමේ සැතපෙන බව අප මතකයේ තිබෙන තුරු අපේ රටේ ජනතාව මේ මාතෘ භූමිය බෙදන්න කිසිවෙකුට ඉඩක් නොතබන බව මම මහත් අභිමානයෙන් ප්‍රකාශ කරනවා.
මිත්‍රවරුනි, මාතෘ භූමිය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුනේ යුද පිටියේ විතරක් නොවෙයි. ඒක අපේ පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි; කම්හලට පාසලට ගෙය ඇතුලටත් ඇවිත් තිබුණා. ඒ වැඩ පිළිවෙලට වසර 30 ක් තිස්සේ අපේ ජනතාවට මුහුණ දෙන්න සිද්‍ධ වුනා. සමහර අවස්ථාවල දී ජාත්‍යන්තර සම්බාධක පවා අපේ ජනතාවට පැටවුනා.
ලෝක ඉතිහාසයේ ජාතියකට විදින්නට සිදුවු දරුණුම ඛේදවාචකවලට අපේ ජනතාව මුහුණ දුන්නා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට, දළදා හාමුදුරුවන්ට ගහත්දීත් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරත්දීත් ඈත ගම්වල වාසය කළ මහා සඟ පරපුර ඇතුළු අපේ භික්ෂුන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන්ගේ වගකීම පැහැර හැරියේ නැහැ. ජනතාව තම දරු පැටවුන් අරගෙන රෑට වනගත වෙලා; දවාලට ඇවිත් ගොවිතැන් බත් කරගෙන ලංකාවේ මායිම් වෙන්න තිබුණූ ගම්මාන රැකගත්තා. උතුරේත්, නැඟෙනහිරත් ජනතාවගේ දරුවෝ පාසල් ගිහින් එනකොට ත්‍රස්තවාදීන් ඒ දරුවන්ව යුද්දෙට ඇදගෙන ගිය අවස්ථා තිබුණා. එසේ ඇදගෙන ගිය උතුරේත්, නැඟෙනහිරත් දරුවන්ගේ මව්වරු ඒ දරු දුක ඉහිලුවා.
කෝචිචිවල, බස්වල බෝම්බ පිපිරුවත්, ගුවන් ප්‍රහාර එල්ල කළත් අපේ ජනතාවගෙන් එක් අයෙක්වත්, එක සේවා ස්ථානයක්වත් අතහැරලා ගියේ නෑ. ත්‍රස්තවාදීන් අපේ ජීවිත, දේපල උදුරා ගත්තා. නමුත් අපේ ජනතාවගේ අධිෂ්ඨානය උදුරාගන්න ඔවුන්ට බැරි වුණා.
ඝාතනයෙන් නතර නොවී අපේ හදවත වෙනස් කරන්න වසර 30 ක් තිස්සේ උත්සාහ කළා. අපේ දරුවන්ට අපේ ජාතික ඉතිහාසය ඉගෙන ගන්න තියෙන අයිතිය උදුරා ගත්තා. එළාර යුගයටත් වඩා දරුණු විදියට පසුගිය යුගයේ දී දුටුගැමුණු මහ රජතුමාගේ නාමයට පරිභව කළා. අතීතයේ ලෝකයේ දරුණුම ආක්‍රමණිකයන්ටත් එරෙහිව සටන් කරලා ජයගත්ත ජනතාවක් බව අපිට අමතක කරවන්න ලොකු උත්සාහයක් දැරුවා.
ත්‍රස්තවාදීන් උතුරේත්, නැඟෙනහිරත් ගම්වල ජනතාවගේ හිස කෙඳන් වෙන් කළා. බෙදුම්වාදීන්ගෙන් ප්‍රතිලාභ ලබපු උදවිය රටේ අනෙක් පළාත්වල ජනතාවගේ හිසෙන් මනස වෙන් කළා. ත්‍රස්තවාදීන්ට එරෙහිව යන එක භයානක අනුවණකමක් කියන මතය මේ රටේ තහවුරු කරලා ශ්‍රී ලාංකික වීර තරුණ පරපුරේ කොඳු ඇට බිඳ දාලා තිබුණා.
ආබාධිත රණවිරුවන් සමචිචලයට ලක් කරන චිත්‍රපටි හදලා ලෝකය පුරා ප්‍රදර්ශනය කළා. අපේ භාෂාවන්ගෙන් වගේම බුද්ධිමතුන්ගෙන් වැඩ ගත්තේ නෑ. ලංකා පුතුන්, උපන් බිමේ බෝඩිංකාරයින් බවට පත් කර ගනිමින් තිබුණා.
මේ වගේ මහා බලපෑමකට අපේ ජනතාව වසර 30 ක් තිස්සේ ඔරොත්තු දීලා. රට නොබෙදී තිබුණ එක ගැන අපි ආඩමිබර වෙන්න ඕනෑ. තරුණයන්ගෙන් හමුදාව පුරවලා මදි. අවි ආයුධවලින් ඔවුන් සන්නද්ධ කරලා විතරක් මදි. මේ රට අපේ ආත්මයේ කොටසක් බවට පත් කළ යුතු වුණා. මේ රට, මේ රටේ මිනිසුන්ටම ලබා දෙනවාය කියන විශ්වාසය ඇති කරන්න සිද්ධ වුණා.
මිත්‍රවරුනි, අපි අපෙන් උදුරා ගත්ත, ජාතියෙන් උදුරා ගත්ත සියල්ල යලි ලබා ගන්න මාර්ගය මහින්ද චින්තනයේ ලේඛණ ගත කළා.
මේ රටේ ජාතික සමිපත් විදේශිය ජාවාරම්කාරයින්ට විකුණන, අපේ ඉතිහාසයට පරිභව කරන, අපේ භාෂාවන්ට ජාතියේ ගුණධර්ම සමිප්‍රදායන් නොසළකා හරින ආණ්ඩුවකට මේ වාගේ යුද්ධයක් දිනන්න බෑ. වීරත්වය පිටරටින් ආනයනය කරන්න බෑ. වීරත්වය තියෙන්නේ අපේ සමිප්‍රදායේ. අපේ ඉතිහාසයේ.
රට නිදහස් කර ගැනිමේ සටනක දී වැදගත් වෙන්නේ සතුරාගේ භූමිය ගැන දැනීම පමණක් නොවෙයි. රටේ සමිප්‍රදාය, ජනතාවගේ සිතුම් - පැතුම්, ආකල්ප ගැන දැන ගෙන ඒවාට ගෞරව කරන්න ඕනෑ. ජිවිත පරිත්‍යාග කරලා රට නිදහස් කර ගත්තාට පස්සේ ඒ රට තවදුරටත් බෙදුමිවාදින්ට උදුරා ගන්න ඉඩ දෙන්නේ නැහැ; කියන විශ්වාසය ජනතාව තුල තහවුරු කරන්න ඕනෑ. තමන්ගේ දරුවාව ගෙදර තියාගෙන අනුන්ගේ දරුවන්ව සටනට යවලා මේ රට නිදහස් කර ගන්න බෑ. නායකයයි, ජනතාවයි, රටයි කියන්නේ තුනක් නොවේ, එකක් බවට පත් කර ගෙනයි, අපි මව්බිම ගලවා ගන්න ඉදිරිපත් වුනේ.
ම්ත්‍රවරුනී, දැන් ඒ අනගිභවනීය විජයග්‍රහණය ලබා ගෙන වසරක් ගෙවී තිබෙනවා. නමුත් ඒ විජයග්‍රහණය කිලිටි කරන්න පසුගිය යුගයේ නොයෙක් දෙනා උත්සාහ ගත්තා. තමුන්නාන්සේලා දන්නවා ත්‍රිවිධ හමුදාව අවමානයට ලක්කරන මහා පාවාදීම පසුගිය වකවානුවේ සිද්ධ වුන බව. මේ මහා මානුෂික මෙහෙයුම කළ රණවිරුවන් සුදු කොඩි රැගෙන ආවාය; කියන ත්‍රස්තවාදී නායකයන්ට වෙඩි තබපු බව කිවිවාම ඒක රට වෙනුවෙන් ජීවිතය දීපු, ලේ හලපු වීරයන්ට කළ අවමානයක්. එක අතක තුවක්කුවත්, අනෙක් අතේ මානව හිමිකම් ප්‍රඥප්තීත්, උතුරේ මුදාගත් ජනතාවට දෙන කෑම පාර්සලයත්, හදවතේ මානව දායාවත් රඳවාගෙන, සටනට ගිය විරයෝයි; අපේ ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ. ඒවාගේ විරුවන් පවාදීමෙන් සතුටු වෙන්න පුළුවන් රටට වෛර කරන උදවියට පමණයි. මේ මහා පාවාදීමේන් යම් වාසියක් ලබනවා; නමි ඒ වාසිය ලබන්නේ බෙදුම්වාදීන් විතරයි.
නමුත් මිත්‍රවරුනී! මේ අනගිභවනීය විජයග්‍රහණය රැකගැනිමේ මහා අභියෝගය මේ රටේ ජනතාව භාරගෙන තිබෙන බව කියන්නේ මානුෂික මෙහෙයුම දිනුව තරම්ම සතුටකින්. මේ රටේ ජනතාව රට බේරාදුන් රජයත්, ත්‍රිවිධ හමුදාවත් ආරක්ෂා කර ගන්න මහා පවුරක් වාගේ නැඟී සිටින බව මට විශ්වාසයි.
මිත්‍රවරුනී, ත්‍රස්තවාදයෙන් බැට කන ලෝකයේ සමහර රටවල් ලංකාව ලබපු මේ විජයග්‍රහණයෙන් ශක්තිය ධෛර්ය ලබා ගත්ත බව අපි දන්නවා. ත්‍රස්තවාදයෙන් බැට කන රටවල් තමන්ට වැරදුනේ කොතනදැයි, සිතා බැලිය යුතු කාලය එලඹ තිබෙනවා. තමන්ට තර්ජනයක් වු ත්‍රස්තවාදයට එරෙහි වෙන අතරේම, තමන්ට තර්ජනයක් නැති ත්‍රස්තවාදය හොදයි කියා හිතන එක ලොකු වැරදීමක්.
ලෝකය මෙතෙක් මේ වැරදි මාවතේ ගමන් ගත්තා. ත්‍රස්තවාදය විනාශ නොවී පවතින්නේත් මේ වැරදි ස්ථාවරය නිසයි. ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට, අනුකම්පා කරන රටවල් ත්‍රස්තවාදය විසින්ම බිලි ගනී; කියලා මම කියනවා. ඒක තමයි ඉතිහාසය පෙන්වා දෙන පාඩම.
මිත්‍රවරුනී, බෙදුම්වාදය නඟා සිටුවන්න විදේශවල ඉදන් ආධාර කරන උදවිය කරන්නේ උතුරේ ජනතාව යලි කදවුරුවලට ගාල් කිරිමට ආධාර කරන එකයි. උතුරේ දෙමළ ජනතාවගේ යහපතට යැයි කියා ත්‍රස්තවාදීන්ට දුන්න ආධාර පරිත්‍යාගවලට සිදු වුනේ. මොනවාදැයි ලෝකයා සොයා බැලිය යුතුයි. වසර 30 ක් තිස්සේ මංමාවත්, විදුලිය, පාසැල් කිසිවක් ඒ ප්‍රදේශවල ඉදි කෙරුනේ නෑ.
ඒ සියළු මුදල් බෙදුම්වාදින්ගේ සුඛ විහරණයටත්, උතුරේ ජනතාවගේ නිදහස අහිමි කිරිමටත් යොදා ගෙන ඇති ආකාරය ඔබට දැක බලා ගැනිමට පුළුවන්. මිත්‍රවරුනි, දෙමළ ජනතාවගේ වේවා, මුස්ලිමි ජනතාවගේ වේවා, මේ රටේ ඉපදුන ජීවත්වෙන කිසිවකුගේ ප්‍රශ්නයක් පිට අයෙකුට බරක් වෙන්න බෑ. අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීමේ වගකීම තිබෙන්නේ අපිටයි.
ත්‍රස්තවාදය නිසා හානියට පත්වුන නැඟෙනහිර වැඩිකල් නොගොස්ම යථා තත්වයට පත් කරලා, ඊලඟට ත්‍රස්තවාදය නිසා හානියට පත් වුන නැඟෙනහිර අපි යථා තත්වයට පත් කළා. ඊලඟට ත්‍රස්තවාදය නිසා හානියට පත්වුන උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීම මේ වසර අවසානවීමට කලින් කළ යුතුයි. උතුරට ගිය බොහෝ දෙනෙක් රජය අවතැන්වු ජනතාවගේ යහපතට ඉටු කරලා තියෙන මහා සේවය ගැන සතුටු වෙනවා.
ත්‍රස්තවාදය මේ රටේ ඇතිවීමට හේතු වු කාරණා පිළිබඳව විමසා බලා එයින් ලැබු අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගන්න අපි ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. මේ විජයග්‍රහණයෙන් වැඩිපුරම සතුටු වෙන ජන කොටස උතුරේ ජනතාව බවට පත්කරන්නයි අපට උවමනාව. අපි මේ මහා මානුෂික මෙහෙයුම කළේ ත්‍රස්තවාදය තුරන් කිරිමට පමණක් බව සියළුදෙනා දන්නවා. සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව එක වෙඩිල්ලක්වත් පත්තු වෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා මේ දිනය අද අපි ජාතික දිනයක් ලෙස සියළු ජාතින් සමඟි කරන දිනයක් ලෙස සලකනවා.
ත්‍රස්තවාදය ඇපයට තබා ගෙන මේ රටට දැමූ කොන්දේසි දැන් වලංගු නෑ. රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සමත් රජයක් දැන් බිහිව තිබෙනවා.
කොන්දේසිවලට යටවෙලා; ස්වාධීනත්වය පාවාදීලා ආධාර ලබාගන්නා තත්වයට පත්වෙන්න අපි සූදානම් නෑ. ආධාරවලින්, සහනාධාරවලින් යැපුන යුගයට තිත තියන්න අපි සූදානම් වෙන්න ඕනෑ.
මිත්‍රවරුනි, මේ රට නිදහස් කර ගත්තේ නිකරුණේ කාලය නාස්ති කරන්න නොවෙයි. හොරුන්ට තක්කඩියන්ට පාතාල කෙරුමන්ට දූෂිතයින්ට බාර දෙන්න නොවෙයි. කම්මැලිකමෙන් අලසකමෙන් කාලය ගෙවා දමන්න නොවෙයි.
අපේ ත්‍රිවිධ හමුදාවේ ලක්ෂ දෙකකට වැඩි රණවිරුවන් දිවා රෑ නොබලා අව් - වැසි නොබලා වසර හතරක් කැපවෙලා විජයග්‍රහණයක් ලංකාවට ලබා දී තිබෙනවා. මේ වීරයෝ අපේම ගම්බිම්වල උපන් අපේම දූ දරුවෝ.
අපේ රාජ්‍ය සේවයේ ත්‍රිවිධ හමුදාව මෙන් සය ගුණයක් මේ රටට සේවය කරනවා. ඒ අයත් ගම්වලින් ආව අපේම දරුවෝ. මේ වීරෝදාර රණවිරුවන් සිව් වසරක් පුරා කළ කැපකිරීම අපේ රාජ්‍ය සේවය කළොත් මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමට අපට අමාරු වෙන්නේ නෑ.
මිත්‍රවරුනි, ඔබ අනාගත අභියෝග ගැන හොඳින් අවබෝධ කර ගන්න ඕනෑ. අපි මානුෂීය මෙහෙයුම කළේ ‘අපි වෙනුවෙන් අපි’ කියන ආදර්ශ පාඨය යටතේ. ඒ වෙග්ම රට ෙගාඩනගන කොට ‘රට වෙනුවෙන් අපි’ කියලා පෙළ ගැසෙන්න ඕනෑ කාලය ඇවිල්ලා. ලොව රටවල් දියුණු වුණේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ විශ්මිත දේ කරලා. මානුෂීය මෙහෙයුමේ දී ලොව විශ්මයට පත්කළ අපි සංවර්ධනයේදීත් ලෝකය විශ්මයට පත්කරන්න ඕනෑ. කිසිවෙක් නොසිතූ දේවල් කරලා ලෝකය පුදුමයට පත්කරන්න ඕනෑ.
මේ රට ගොඩනගන්න ඉන්නේ උවමනාව තියෙන්නේ මේ රටේ උපන් අපිට විතරයි. මේ රට ගොඩ නඟන්න මේ රටේ ජනතාවට ශක්තිය ධෛර්යය තිබෙනවා. උවමනා කරන්නේ ඕනකම පමණයි. ඔව් ! රට වෙනුවෙන් අපි ලේත්, කඳුලුත් ගැලීම වළක්වන්නට කළ යුතු එකම දේ කැඩී බීඳී ගිය හදවත් එක් කිරීමයි. ඒ සඳහා ශ්‍රී ලාංකික ජාතියට උවමනාවක් තිබෙන බව මා දන්නවා.
රණවිරුවනි, අපිට තිබෙන්නේ ශූර, වීර, ධීර අතීතයක් පමණි. නමුත් දැන් අපි එබඳු ශූර, වීර, අදීන වර්තමානයක් ගොඩනඟා ගෙන තිබෙනවා. අනාගතේ මගේ රට රැකගන්නට ශ්‍රී ලාංකා ජාතියට අසමසම සටනක් කරන්නට උවමනා වූ දාට, වර්තමාන යුගයේ ඔබගේ වීරත්වය ගැන කථා කරාවි. ඔබ මියගියත්, ඔබ සැතපෙන්නේ සොහොනේ බිම්වල නොවෙයි. ඔබ සැතපෙන්නේ රටට ආදරය කරන අපගේ හදවත්වල .
ඔබේ මේ රටට නිදහස උදා කරන්නට හෙලූ සෑම ලේ බිඳුවක්, දහඩිය බිඳුවක් වෙනුවෙන්ම මේ රට ගොඩනගා, අපි ඔබට ජාතියේ ගෞරවය පුද කරනවා.
ඔබ සැමට සුභ අනාගතයක් ! ඔබ සැමට තෙරුවන් සරණයි. |