බදාදා සොයා ගත් යුද උපකරණ අතර ආර්පීජී බෝම්බ රැසක්
උතුර : යුද හමුදා සෙබළුන් විසින් ඕමන්තේ, නාවත්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පාලමොඩෙයි, කොල්ලන්කුලම්, ඉරණමඩු, පරන්තන්, විශ්වමඩු, මුරුසුමොඩෙයි, මාන්කුලම්, නල්ලූර්, නන්දිකඩාල් සහ කඩවාන යන ප්‍රදේශවල බදාදා (16) සෝදිසි මෙහෙයුම් දියත් කල අතර, එහි දී මිමී 60 මෝටාර් බෝම්බ 75 ක්, මිමි 7.62 x 39 පතරොම් 5786 ක්, පුද්ගලනාශක බෝම්බ 57 ක්, ආර්පීජී බෝම්බ 10 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, පුපුරා නොගිය මර උගුල් 08 ක්, අත් බෝම්බ 206 ක්, ඒකේ - 47 අවියක කොටසක්, ආර්පිජී - 7 වර්ගයේ බෝම්බ ගෙන යන මල්ලක්, ටී - 56 ගිනි අවි කොටස් රැසක්, ටී - 81 ගිනි අවි 01 ක්, මිමි 122 මොටාර් බෝම්බ 02 ක්, විදුලි බෝම්බ 04 ක්, පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසු මර උගුල් 02 ක්, සි - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 04 ක්, මිමි 7.62 x 54 පතරොම් 7100 ක්, එම්පීඑම්ජි පතරොම් 100 ක්, මිමී 60 පැරා මෝටාර් බෝම්බ 171 ක්, මිමී 60 මෝටාර් බෝම්බ විලායක (ෆියුස්) 323 ක්, ආර්පීජී හීට් බෝම්බ 02 ක්, සීඑස් ගෑස් ටින් 55 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 04 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 5.56 එස්එම්ජී 97 වර්ගයේ ගිනි අවි 01 ක් සහ ටී - 56 ගිනි අවි 04 ක් සොයා ගත්හ.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් 16 වන දින මයිලන්කුලම්, වෙලාරසින්නකුලම්, මරුදන්කුලම්, මල්ලවරායන්කඩ්ඩෙයිකුලම්, පෙරියපන්ඩිවිරිච්චාන්, සින්නපන්ඩිවිරිච්චාන්, කෝවිල්පුලියන්කුලම්, පරසන්කුලම්, නාරික්කුලම් සහ උදෙයිආඩි ආදි ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේ දී පුද්ගල නාශක බෝම්බ 348 ක් සහ පුපුරා නොගිය මර උගුල් 03 ක් සොයා ගෙන ඇත.
මහා කරුණා පදනමෙන් ප්‍රජා සත්කාර රැසක්
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ පදනම මඟින් මන්නාරම ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී. පසුගිය 7, 8 හා 9 යන දිනයන්හි පැවති මෙම කඳවුරට අඩම්පන් සහ වෙඩිතලතිව් යන ප්‍රදේශවල වෙසෙන රෝගීන් 1612 ක් වෛද්‍ය සායන සඳහා ද රෝගීන් 382 දෙනෙක් දන්ත සායනය සඳහා ද සහභාගි වි ප්‍රතිකාර ලබා ගත්හ.
එහි දී පෞද්ගලික සෞඛ්‍ය රැක ගැනීම සඳහා වන දේශන පවත්වා ඊට අවශ්‍ය උපකරණ ද සැපයු අතර, ඒ සඳහා පාසල් සිසු සිසුවියන් 1200 ක් පමණ සහභාගී වුහ. තෝරා ගත් පාසල් සිසුන් 300 දෙනෙකුට ටී - ෂර්ට් ද වැඩිහිටි රෝගීන් 200 දෙනෙකුට ඇඳුම් පාර්සල් ද ඊට සහභාගි වු සියළු දෙනාට දිවා ආහාරය ලබා දීමට මෙම සංවිධානය ක්‍රියා කරන ලදි. මෙහි ආරම්භක දිනය වු ජූනි 07 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මන්නාරම ප්‍රදේශ ආඥාපති බ්‍රිගේඩියර් එම්.ඒ.එම්. ඩයස් සහභාගී වූ අතර, වෛද්‍ය කඳවුර පැවැත්වූ අවසන් දින වූ 09 දින ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ය.
යුද හමුදා අන්තර් රෙජිමේන්තු ආබාධිත රණවිරු අත්පන්දු තරඟ උණූසුම් අයුරින්
ශ්‍රී ලංකා යුද හමුදා ආබාධිත ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ 2010 යුද හමුදා අන්තර් රෙජිමේන්තු ආබාධිත රණවිරු ක්‍රීඩා උෙළලේ තරඟ ඉසව් මේ වන විට ඉතා සාර්ථකව පැවැත්වෙමින් තිබේ. ඒ අනුව පසුගිය ජුනි මස 11 හා 12 යන දිනයන්හි සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී උණුසුම් අයුරින් අත්පන්දු තරඟ පැවැත්විණි.
රෙජිමේන්තු 08 ක් තරඟ වැදි මෙහි දී ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම ජයග්‍රාහී කුසලානය දිනා ගත් අතර, අනුශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ගජබා රෙජිමේන්තුවේ සෙ/5ජී02205 ලාකෝ උපාලි ඩබ්ලිව් ය. දක්‍ෂතම පන්දු ඔසවන්නා වූයේ පාබල හමුදා රෙජිමේන්තුවේ සෙ/319035 සාසෙ ප්‍රියංකර එම්.ඩබ්.ඒ. වන අතර, එම රෙජිමේන්තුවේම සෙ/318901 ලා/කෝ ලලිත් කුමාර ඊ.ඩී.පී. දක්ෂතම ප්‍රහාරකයාට හිමි කුසලානය දිනා ගත්තේය.
දකුණු ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය. තරඟ විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලංකා අත්පන්දු විනිසුරු සංගමයේ ප්‍රවීන විනිසුරුවරුන් දෙපලක් වන පී. ජයරත්න බාලසූරිය හා ඒ. වික්‍රමපාල යන මහත්වරු කටයුතු කලහ.
එමෙන්ම යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් හා ක්‍රීඩකයින් රාශියක් ද ඊට එක්වූහ.
සාම පාද යාත්‍රාව යාපනයෙන් අවසන් වේ
පසුගිය මැයි 09 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත තංගල්ල ප්‍රදේශයෙන් ආරම්භ කළ ‘සාම පාද යාත්‍රාව' දින 28 ක සාර්ථක ගමනකින් පසු ජූනි 14 වන දින පේදුරු තුඩුවේ දී අවසන් කලහ.
මෙම සාම පා ගමනට සහභාගී වූ පිරිස කොඩිකාමම්, වරණි සහ මන්තිකායි යන ප්‍රදේශවල ආගමික නායකයින්, සිවිල් පරිපාලන නිළධාරීන්, පාසල් සිසුන් සහ තරුණ පිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, එම පිරිස වෙත හින්දු ආගමික වතාවත් ද ඉටු කරමින් ආශිර්වාද කළහ. මෙම පිළිගැනීමේ කටයුතු යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් මත 52 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ලාල් පෙරේරා මහතාගේ මඟ පෙන්වීමෙන් සිදු කෙරිණි. |