යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ජේ ජයසූරිය යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කරනු ලබන පණිවුඩය
දශක තුනක් පුරා අප රටේ ජනතාව ප්‍රාර්ථනා කල සාමය සපිරි සුභ අලුත් අවුරුද්ද මේ වසරේ මව්බිමට එලැඹ තිබේ. ඒ කුරිරු ත්‍රස්තවාදය මුලුමනින්ම පරාජය කිරීමත් සමගය. එය මුලු මහත් ජාතියටම මහත් සැනසිල්ලකි. ඒ උත්තුංග මෙහෙවරට උරදීමට ලැබීම යුද හමුදා සාමාජිකයින් වන අපට මහත් ආඩම්බරයකි.
අපි ජාතියේ මහත් ගෞරවයට ලක්ව යුගයේ විරුවන් ලෙස අභිමන් ලැබුවෙමු. ලෝකයේ විශිෂ්ඨ හමුදාවක් ලෙස වීරත්වයට පත් වුණෙමු. මානුෂීය මෙහෙයුමේදී ඔබ පෙන්නුම් කළ විශිෂ්ඨ කුසලතාවය සේම ඔබ සතු විනය ද ඊට හේතුවිය. එසේම සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත්, ආරක්ෂක ලේකම්තුමාගේත් නායකත්වය ද ඔබට දිරි දුන් බව සත්‍යයකි. රටේ මහජනතාව සියලු භේද අමතක කොට පන්සලේ, පල්ලියේ, කෝවිලේ ඔබ වෙනුවෙන් කළ ආශිර්වාදය ද ඔබ වඩ වඩාත් සවිමත් කළ බව සැබෑය. මේ සියල්ලසේම නිවසේ සිට ඔබ දිරි ගැන්වූ මව, පියා, බිරින්දෑවරු, ස්වාමිපුරුෂයන් ඇතුලු ඥාතී හිතමිතුරන් ද ඔබ ලැබූ මේ ගෞරවයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේය. අපි මේ අභිමානවත් අවස්ථාවේ ඒ සැමට අප ලැබූ මේ ගෞරවය නිහතමානීව පිළිගන්වන්නෙමු. ඉදිරියටත් මේ සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදයත් ශක්තියත් සුවිශේෂී සහයෝගයත් අප වෙත ලැබෙන බව මම විශ්වාස කරමි.
අප හමුදාව දෙස් විදෙස්හි වඩාත්ම අවධානයට ලක්වූ යුගය එළඹ තිබේ. ඒ සමගම මා වෙත අනෙකුත් හමුදාපතිවරුන්ට නොපැවරුණු ප්‍රමාණයේ සුවිශේෂී වගකීම් රැසක් ද ඔබ වෙනුවෙන් පැවරී ඇත. ඔබ අත්පත් කරගත් කීර්තියට හිමි වෘත්තිය තත්වයත්, ජීවන තත්වයත් දෙස අවධානය දිනා දිය යුතුය. මානුෂීය මෙහෙයුම් වලදී තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සෙබලුන් වෙනුවෙන් ඔවුන් ජීවිතාන්තය දක්වා රැක බලාගැනීෙම් සුව සහන මධ්‍යස්ථාන සියලු පහසුකම් සමගින් රජයේ සහයද ඇතිව පළාත් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එහි මුල් පියවර වශයෙන් අනුරාධපුර නුවර වැව ආසන්නයෙහි ඉදිකර මෙම වසර තුලදීම එහි වැඩකටයුතු නිම කිරීමටත් මා බලාපොරොත්තු වෙමි. රජයේ පූර්ණ දායකත්වය යටතේ සිදුකරනු ලබන රණවිරු ඉඩම් හා නිවාස ව්‍යාපෘතීන් ඇතුලු රණවිරු සුභසාධනයට ලැබෙන දායකත්වය ද සුවිශේෂීවනු ඇත.
යුද හමුදා සේවා වනිතා ශාඛාව සහ සිවිල් සංවිධාන රණවිරු සුභසාධනය සම්භන්ධව දක්වන සුවිශේෂී උනන්දුව පිළිබඳව ද ඒ සැමට මාගේ විශේෂ කෘතඥතාවය පුදකර සිටිමි.
රජය මගින් සිදුකරනු ලබන නැගෙනහිර නවෝදය හා උතුරු වසන්තය සංවර්ධන සංග්‍රාමයට අපගේ දායකත්වය ලබාදීම තුල අප හමුදාවේ කාර්යශූරත්වය හා විනය පිළිබඳව අතිගරු ජනාධිපති තුමාගේත් සමස්ථ රජයේත් ප්‍රසාදය අප වෙත හිමිවී ඇති බව දැනුම්දෙන්නේ මහත් ආඩම්බරයෙන් හා සන්තෝෂයෙනි.
අප දැන් වෘත්තිය හමුදාවකි. එම තත්වය තව තවත් විශිෂ්ඨ මට්ටමින් පවත්වාගෙන යාම අප වෙත ඇති අභියෝගයකි. එම අභියෝගය ජයගැනීමට නම් පුහුණුව හා විනය උසස් මට්ටමකින් පවත්වාගත යුතුව ඇත. විශේෂයෙන්ම සෙබලෙකුගේ පෞද්ගලික සටන්බ්ම හැකියාවන් ප්‍රගුණ කල යුතුය. එපමණක් නොව සෙබළ විනය ද ඉහළ නිලයේ සිට පහළ නිලය දක්වා එකසේ පවත්වා ගැනීම තුලින් ලබාගත් විශිෂ්ඨත්වය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීම බව අවධාරණය කරමි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා යැවෙන භට පිරිස් ප්‍රමාණය වසරකට 950 ක ට පමණ සීමා වූ අතර, අප සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එය 5000 දක්වා වැඩි කිරීමට එකගතාවය පලකර ඇත. එමගින් එක්සත් ජාතීන්ගේ ඉල්ලීම අනුව අවශ්‍ය භට පිරිස් ප්‍රමාණයන් සහභාගි කරවීම සඳහා අපි සූදානමින් සිටිමු. තවද එම අවස්ථාව ප්‍රථම වතාවට කාන්තා ඒකක වලට ද හිමිවීම විශේෂත්වයකි.
ක්‍රීඩා කෞෂල්‍යය හමුදාවට මහත් අභිමානයක් ගෙනදුන් බව ඔබ දනී. ජාතිකවත් ජාත්‍යන්තරවත්අපේ සෙබළ සෙබළියන් අත්පත් කරගත් ජයග්‍රහණය අප මේ වසරේ වඩාත් වර්ධනය කරගත යුතුය. දක්ෂතා ඇති සැමට කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉහළට යාමට අවස්ථාව සලසා දීමට මම පියවර ගනිමි. ඔබ ඉන් විපුල ඵල ඔබගේ ජීවිතයටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත් ලබා දෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
අවසාන වශයෙන් රට වෙනුවෙන් දිවිපිදූ සියළු රණවිරුවන් මම ගෞරවයෙන් සිහිපත් කරමි. මානුෂීය මෙහෙයුම් වලිදී තුවාල ලබා මේ වන විටත් තුවාල ලබන සෙබළුන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් තම දූ දරුවන් කැපකළ රණවිරු මව්පියවරුන් මේ මොහොතේ මම සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි. අප සමඟ දෛනික පාලන රාජකාරීන් හි නියැලෙන සිවිල් මහත්ම මහත්මීන්ගේ සේවය ද මට මොහොතේ අමතක නොවේ.
නිදහසේ එක්සත්ව එක්සිත්ව සමරන මේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ ඇතුළු ඔබ පවුලේ සැමට සමෘද්ධියෙන් පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. |