Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාධිපති

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් 2022 ජුනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ලුතිනන් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරන ලදී.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබීය.

වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පාඨමාලා අංක 26 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරන ලදී. පසුව, එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වසර 35 ක ආදර්ශමත් යුද්ධ හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, කණ්ඩායම් භාර නිලධාරි අණදෙන සහ විධායක අධිකාරි ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත. නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ මානුෂීය මෙහෙයුමේදී එම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන ලදී.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 21 සහ 55 වන පාබල සේනාංකයන්හි බුද්ධි නිලධාරි, 14 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 10 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II සහ 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි තනතුරු ද හොබවා ඇත. එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය භටපිරිස් සමඟ එක්ව මන්නාරම ප්‍රදේශයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශ අත්පත්කරගැනීම වෙනුවෙන් සාර්ථකව මෙහෙයුම් දියත් කරන ලදී.

ලුතිනන් ජෙනරල්
එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

මීට අමතරව, එතුමන් 225 සහ 553 වන පාබල බලසේනාවන්හී කාර්යයේ නියුතු බලසේනාධිපති, කලාප අණදෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, 215, 542, 224, 221 සහ 623 වන පාබල බලසේනාවන්හී බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ පුහුණු හා මූලධර්ම සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රියා හා සැලසුම්, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපති වැනි තනතුරු ද හොබවා ඇත.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය වසර ගණනාවක යුද්ධ හමුදා සේවා කාලය තුලදී විවිධ තනතුරු හොබවමින් ලද අත්දැකීම් සහ පුහුණුවෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර එතුමන්ගේ දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලය තුළ අභ්‍යන්තර ආරක්‍ෂක/ ප්‍රතිවිප්ලව යුද පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ ඉගැන්වීමේ ක්‍රමවේද පාඨමාලාව, ඉදිරි භූමි නිරීක්‍ෂණ නිලධාරී පාඨමාලාව - මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසල, බලඇණි ආධාරක අවි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, කණ්ඩභාර නිලධාරි පුනරීක්‍ෂණ පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, කණ්ඩායම්භාර නිලධාරි අණදෙන්නන්ගේ පුනරීක්‍ෂණ පාඨමාලාව - යුද්ධ හමුදා මූලස්ථානය, ඒකක ආරක්‍ෂක නිලධාරී පාඨමාලාව - යුද්ධ හමුදා බුද්ධි බළකාය, කළමනාකරණ සහ නායකත්ව සංවර්ධන පාඨමාලාව - ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, මූලික සමථ නිපුණතා සහ ක්‍රියාවලිය (UNHCR) - 21 වන සේනාංකය, බහුවිධ කණ්ඩායම් පුහුණු අභ්‍යාස - 3 කුකුලේගඟ යන පාඨමාලාවන් සාර්ථකව හදාරා ඇත.

එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් ද රැසක් හදාරා ඇත. ඒ අනුව, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - බංගලාදේශය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලා හදාරා ඇති එතුමන් උසස් ආරක්‍ෂක සහයෝගීතා වැඩසටහන - හවායි සහ ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස්හී (Lemhannas) ජාතික ආයතනය මඟින් පවත්වනු ලබන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහා ද සහභාගී වී ඇත.

එමෙන්ම, ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස් (Lemhannas) විශ්වවිද්‍යාලයෙන් උපායමාර්ගික සහ මනා කළමණාකරන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම හවායි පිහිටි ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් ‘ඉන්දු-පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්‍ෂාව’ පිළිබඳ උපාධියක්ද එතුමන් සතු වේ. මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද හදාරා ඇත.

අවසන් මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක වී කටයුතු කළ 57 හා 56 වන සේනාංක යටතේ ස්ථාපිතව තිබු 8 වන ගජබා රෙජිමේන්තුවට අණදෙමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාගැනීමට එතුමන් සමත්විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත්කළ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව දක්වන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කමෙන්’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම්වලදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කිරිම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිය හමුදා දිවියේදී තුන් වතාවක් ඉහත පදක්කම් වලින් පිදුම් ලබා ඇත. තවද, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද ක්‍රියාන්විත මෙහෙයුම්වලදී තුවාල ලැබීම හේතුවෙන් එතුමන් වෙත ‘දේශ පුත්‍ර සම්මානය’ ද පිළිගන්වා ඇත.

මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

පාසල් දිවිය තුළදී මළල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ එතුමන් මාතලේ විජය විද්‍යාලයේ කැපීපෙනෙන ආදි ශිෂ්‍යයකු වේ.

එමෙන්ම, බුද්ධ ශාසනය වෙනුවෙන් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත අමරපුර නිකායේ භික්‍ෂූ ශාසනය වෙතින් ‘ජනමාන්‍ය විභූතිරත්න’ යන ගෞරව නාමය ද පිරිනමා ඇත. ජානකී ලියනගේ මහත්මියගේ ආදරණීය සැමියා වන ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දියණියකගේ සහ පුතෙකුගේ ආදරණීය පියාණන් ද වේ.