Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාධිපති

ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2022 ජුනි මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. යුද්ධ හමුදාධිපති ධූරයට අමතරව එතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබයි. ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබීය.

පාසල් දිවිය තුළදී මළල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ එතුමන් මාතලේ විජය විද්‍යාලයේ කැපීපෙනෙන ආදි ශිෂ්‍යයකු වේ. වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පාඨමාලා අංක 26 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරන ලදී. කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එතුමන් දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1987 ජූලි මස 23 දින ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2022 ජුනි මස 01 දින එතුමන් ලුතිනන් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වසර 37 ක ආදර්ශමත් යුද්ධ හමුදා දිවිය තුළ අණ හා මාණ්ඩලික සහ උපදේශක ධූරයන් රැසක් හොබවා ඇත. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 215, 542, 224, 221 සහ 623 පාබල බලසේනාවන්හී බලසේනාධිපති, කලාප අණදෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, 225 සහ 553 පාබල බලසේනාවන්හී බලසේනාධිපති (වැඩබලන) වැනි තනතුරු රැසක් හොබවා ඇත.

ලුතිනන් ජෙනරල්
එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

මීට අමතරව, එතුමන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ පුහුණු හා මූලධර්ම සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රියා හා සැලසුම්, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II වැනි තනතුරු ද හොබවා ඇත. මීට අමතරව, එතුමන් අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු උපදේශක ධූරයන් කිහිපයක් ද හොබවා ඇත.

කීර්තිමත් ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන ලදී. අවසන් මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක වී කටයුතු කළ 57 හා 56 වන සේනාංක යටතේ ස්ථාපිතව තිබු 8 වන ගජබා රෙජිමේන්තුවට අණදෙමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාගැනීමට එතුමන් සමත්විය.

එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපති ධූරය හොබවමින් යුද්ධ හමුදාව තුළ වූෂු සටන් කලාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

එමෙන්ම, ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස් (Lemhannas) විශ්වවිද්‍යාලයෙන් උපායමාර්ගික සහ මනා කළමණාකරන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම හවායි පිහිටි ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් ‘ඉන්දු-පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්‍ෂාව’ පිළිබඳ උපාධියක්ද එතුමන් සතු වේ. මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද හදාරා ඇත. නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - බංගලාදේශය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලා හදාරා ඇති එතුමන් උසස් ආරක්‍ෂක සහයෝගීතා වැඩසටහන - හවායි සහ ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස්හී (Lemhannas) ජාතික ආයතනය මඟින් පවත්වනු ලබන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහා ද සහභාගී වී ඇත.

එතුමන්ගේ දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලය තුළ අභ්‍යන්තර ආරක්‍ෂක/ ප්‍රතිවිප්ලව යුද පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, ඉදිරි භූමි නිරීක්‍ෂණ නිලධාරී පාඨමාලාව - මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසල, බලඇණි ආධාරක අවි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, ඒකක ආරක්‍ෂක නිලධාරී පාඨමාලාව - යුද්ධ හමුදා බුද්ධි බලකාය, මූලික පැරෂූට් පාඨමාලාව - කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල කුඩාඔය වැනි දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.

එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත්කළ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ත්‍රස්තවාදීන්ට එරෙහිව දක්වන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කමෙන්’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. තවද, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද ක්‍රියාන්විත මෙහෙයුම්වලදී තුවාල ලැබීම හේතුවෙන් එතුමන් වෙත ‘දේශ පුත්‍ර සම්මානය’ ද පිළිගන්වා ඇත. මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, 75 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

එමෙන්ම, බුද්ධ ශාසනය වෙනුවෙන් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත අමරපුර නිකායේ භික්‍ෂූ ශාසනය වෙතින් ‘ජනමාන්‍ය විභූතිරත්න’ යන ගෞරව නාමය ද පිරිනමා ඇත.

ජානකී ලියනගේ මහත්මියගේ ආදරණීය සැමියා වන ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියණියකගේ සහ පුතෙකුගේ ආදරණීය පියාණන් ද වේ.