Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2020 17:26:09 Hours

වන්නි සහ මුලතිව් ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් ආරක්‍ෂක ලේකම් හරසරින් පිළිගනි

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (17) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් හා විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 300 කට අධික පිරිසක් ඇමතීම ද සිදු කරන ලදී.

කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් සිදුකරනු ලබන සියලු කාර්යභාරයන් ආරක්‍ෂක ලේකම්තුමන් සිය දේශනය අතරතුරදී අගය කළේය. “ඔබ සියලු දෙනාගේ අඛණ්ඩ උත්සාහය සහ කැපවීම හේතුවෙන් රටේ තත්ත්වය සතුටුදායක මට්ටමක පවතී. ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ ඔබ සියලුදෙනාම රජයේ බලධාරීන්ට ලබාදෙන සහයෝගය බෙහෙවින් පැසසුමට ලක් කළ යුතු අතර අපගේ ප්‍රශංසාව මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවගේ ද ප්‍රශංසාව ඔබට හිමිවිය යුතුයි.” යනුවෙන් ආරක්‍ෂක ලේකම්තුමන් භටපිරිස් අමතමින් වැඩිදුරටත් පැවසීය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත හමුදා සම්ප්‍රදායානුකූල ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ යතුරු පැදි පෙරටු කරගත් වර්ණවත් රථ පෙළපාලියකින් සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ව එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක ලේකම්තුමන් වර්ෂ 2009 දී පැවැති සිය මතකයන් භටපිරිස් අමතමින් සිහිපත් කළ අතර වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කල කාලය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව වන්නි ප්‍රදේශයේ පුනරුත්ථාපන කටයුතු සඳහා නිසි බලධරයා ලෙස එතුමන් ඉටු කළ කාර්යයන් ද මෙහිදි සිහිපත් කළේය. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මීට පෙර යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් ද අමතනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, ජාතික බුද්ධි අංශ ප්‍රධානී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, 21, 54, 56 හා 62 වන සේනාංකවල සේනාංකාධිපතිවරු, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද ආඥාපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද මූලස්ථානයේ ආඥාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර හා වවුනියා කඳවුරේ ආඥාපති, උතුරු මැද පළාතේ අනුරාධපුර හා වවුනියාව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරික්‍ෂකවරුන්, වවුනියාව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සාමාජිකයින් රැසක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

එමෙන්ම, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න උතුරේ සිදුකළ සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (17) දින මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත ද සැපමිණි අතර එහිදී භටපිරිස් අමතමින් ඔවුන්ගේ කාර්යභාරයන් පැසසුමට ලක් කළේය.

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ව, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය සාධක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දක්වන කැපවීම භටපිරිස් අමතමින් සිදු කළ සිය දේශනයේදී ආරක්‍ෂක ලේකම්තුමන්ගේ දැඩි ඇගයීමට ලක් විය.

ආරක්‍ෂක ලේකම්තුමන් සිදුකල දේශනයට සවන්දීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක, 59, 64 හා 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, මුලතිව් නියොජ්‍ය පොලිස්පති, නාවික, ගුවන්, විශේෂ කාර්ය බලකා හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Running sport media | Footwear