Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2019 18:06:03 Hours

“පළමුවන ලෝක මහා සංග්‍රාමය 1914 – 1919” ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපතිතුමන්ට පිළිගන්වයි

ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයධාරාවන් ආවරණය කළ විශ්‍රාමික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රසන්ත පෙරේරා විසින් සිංහල භාෂාවෙන් රචිත ‘පළමු ලෝක යුද්ධය 1914 – 1919’ නම් ග්‍රන්ථයේ මංගල පිටපත සිකුරාදා (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වනු ලැබීය.

වර්ෂ 1919 ජුනි මස 28 දින අවසන් වූ පළමු ලෝක යුද සංග්‍රාමයේ 100 වන සංවත්සරය අභිමානවත්ව සමරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු විසින් වසර දෙකකට නොවැඩි කාලයක් තිස්සේ පුළුල් පර්යේෂණ හා අධ්‍යයනයන් සිදුකර ඉදිරි පරම්පරා ගණනාවකට අත්විඳිය හැකි පරිදි මෙම ග්‍රන්ථය සිංහල භාෂාවෙන් රචනා කරන ලදී.

මෙම ග්‍රන්ථයේ කතෘවරයා අද (28) දින උදෑසන හිටපු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේනුක උඩවත්ත (විශ්‍රාමික) සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් හමු වූ අතර එහිදි ග්‍රන්ථයේ අන්තර්ගතය සහ පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 ක් සම්පූර්ණ වනවිට මේ ආකාරයෙන් ග්‍රන්ථය එළිදැක්වීමට හේතුවූ කරුණු පිළිබඳ විස්තර කළේය. මෙම ග්‍රන්ථය සිංහල භාෂාවෙන් රචනා කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පළ කළ අතර ග්‍රන්ථයේ ප්‍රචාරය කිරීමට ද සුබ පැතුම් එක් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන මෙම ග්‍රන්ථයේ කතෘතුමන්, මුතුන් මිත්තන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එතුමන්ට පැවසු පරිදී පළමු ලෝක යුද්ධය පැවති කාලයේ මතකයන් මෙහිදි සිහිපත් කළ අතර පළමු ලෝක යුද්ධය ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙන්ම සිවිල් වැසියන්ට ද මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වනු ඇතැයි පවසා සිටියේය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සඳහා මේ වනවිට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන විශේෂඥවරයෙකු වන හිටපු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේනුක උඩවත්ත (විශ්‍රාමික) සහභාගි විය. Mysneakers | Jordan Release Dates , Iicf