Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 15:00:04 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රාදේශියව සංවිධානය කරන ලද ‘පොසොන්’ වැඩසටහන්වලට විශාල මහජන සහභාගිත්වයක්

පොසොන් පොහොය නිමිති කොට ගෙන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය විසින් බෝධි පූජාමය පිංකමක් සහ දන්සලක් එම සේනාංක මූලස්ථානයේ පැවැත් වූ අතර එහිදි එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 1500 කට අධික පිරිසක් සඳහා නොමිලේ ආහාරපාන ලබාදී ඇත.

පොසොන් පොහොය යෙදී තිබු ඉකුත් (16) දින පැවති බෝධි පූජාමය පිංකම අවසන් වීමත් සමග 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන් දන්සල ආරම්භ කළ අතර එම අවස්ථාව සඳහා ප්‍රදේශයේ විවිධ ආගමික පූජකයින්, පච්චාලෙයි පල්ලී සහ මරදංකේනි ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා සහ නාවික කඳවුරුවල අණදෙන නිලධාරීන්ද එක්ව සිටියහ.

පොසොන් පොහොයට සමගාමීව වැලිකන්ද නගර මධ්‍යයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දන්සලක් පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලන නායකයින් විසින් සිවිල් ජනතාවට ආහාර බෙදා දන්සල විවෘත කරනු ලැබිණි.

එමෙන්ම, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පැවැත්වු පොසොන් උත්සවයට සිය දායකත්වය එක්කරමින් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් අසිරිමත් පොසොන් කළාපයක් සංවිධානය කරන ලදි.

එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පරාක්‍රම සමුද්‍රය අසල සංවිධානය කළ ෆයිඩ් රයිස් දන්සල නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් විවෘත කරන ලදි. එහිදි නැගෙනහිර ආඥාපතිතුමන් විසින් පළමු ආහාරවේල ප්‍රධානය කිරිමෙන් අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සමඟ එක්ව දන්සල විවෘත කරනු ලැබීය.

22 වන සේනාංකයේ භටපිරිස් විසින් පොසොන් පොහොය දිනට සමඟාමීව මහින්දාගමනය සහ ශ්‍රී ලංකාවට බෞද්ධ ඉගැන්වීම් හඳුන්වා දීම සිහිපත් කරමින් ජයසුමනාරාම මහා විහාරස්ථානයේ දයාක සභාව සමඟ එක්ව එම විහාරස්ථාන පරිශ්‍රයේ පොසොන් කලාපයක් සංවිධානය කරන ලදි. පොසොන් බැති ගී, ප්‍රසංග, දන්සල් සහ විශේෂ ආගමික වැඩසටහන් වලින් සමන්විත වු මෙම පොසොන් කලාපය ජුනි මස 20 දින දක්වා පැවැත්වීමට නියමිතය.

පොසොන් දින උදෑසන සීල සමාදාන වැඩසටහනක් සහ භාවනා වැඩසටහනක් පැවැත්වු අතර පූජ්‍ය ත්‍රිකුණාමලයේ ඥාණකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති බෝධි පුජාමය පිංකම සඳහා ද විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වුහ.

එමෙන්ම, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස්හි සහයෝගය ඇතිව ජයසුමනාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණි. ආගමික වතාවත්වලින් අනතුරුව බැතිමතුන් සඳහා සර්වඥ ධාතූ ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. සන්ධ්‍යාවේ විජයංගනාරාම විහාරස්ථානයේ විශේෂ බෝධි පූජා පිංකමක් පැවැති අතර බෝධි පූජා පිංකම අතරතුරදී පූජ්‍ය රන්හෙලගම අත්තදස්සි හිමියන් විසින් ධර්ම දේශනවක් පැවැත්විය. මෙම විශේෂ ආගමික වැඩසටහන සඳහා 22 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ. ධර්ම දේශනාව අවසානයේ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ධර්ම දේශනය පැවැත්වූ පූජ්‍ය රන්හෙලගම අත්තදස්සි හිමියන්ට අටපිරිකරක් පූජා කළහ.

මේ අතර, 222 බලසේනාවේ භටපිරිස් විසින් පොසොන් පොහෝ දින ජයනත්තිගම දී දන්සලක් සංවිධානය කරන ලදී. එම කලාපයේ සිංහල, දමිළ සහ මුස්ලිම් ආගම් නියෝජනය කරන විශාල පිරිසක් මෙම දන්සැල සඳහා සහභාගී වී ආහාර භුක්ති විඳින ලදි.

එමෙන්ම, 241 වන බලසේනාව, 242 වන බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණියන්හී සහයෝගය සහිතව 24 වන සේනාංකය විසින් අඛණ්ඩව 6 වන වරටත් පසුගිය ඉරිදා (16) දින පොසොන් උත්සව වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිනි.

අම්පාර දිස්ත්‍රික්කයෙහි ඇති සිංහල, දමිල සහ මුස්ලිම් සමාජයන්හී සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයන් විසින් මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබූ අතර 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් මෙම ආගමික වැඩසටහන් අධීක්‍ෂණය කරන ලදි.

සිංහල, දමිල සහ මුස්ලිම් සමාජයන්හී සහයෝගය සහිතව 241 වන බලසේනාව විසින් කල්මුනේ ප්‍රදේශයේ දන්සල් සහිත පොසොන් කලාපයක් ජූනි මස 16 සිට 19 දින දක්වා පවත්වනු ලැබිනි. කල්මුනේ ප්‍රදේශයේ ප්‍රථම වතාවට කල්මුනේ වෙළඳුන්ගේ සංගමයේ සාමාජිකයින් සහ කල්මුනේ නගර සභාවේ සමාජිකයින්ගේ සහය ඇතිව මෙම පොසොන් කලාපය සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා කල්මුනේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම හින්දු හා මුස්ලිම් පූජකවරුන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

එමෙන්ම, 24 වන සේනාංකය විසින් සංවිධානය කරන ‘පොසොන් දන්සල’ අම්පාර නගර මධ්‍යයේ ආරම්භ කෙරුණු අතර 24 වන සේනාංකය තවත් දන්සල් කිහිපයක් පවත්වමින් පොසොන් වැඩසටහන් මාලාවට දායකවිය.

සිංහල හා මුස්ලිම් ප්‍රජාවන්ගේ සහාය ඇතිව අක්කරයිපත්තු ප්‍රදේශයේ 241 වන බලසේනාව විසින් සංවිධානය කරන ලද පොසොන් කලාපය සහ දන්සල ඉරිදා (16) දින ආරම්භ විය. තවද එම අවස්ථාවේ ඝාතනය කිරීමට නියම වූ ගවයෙකු නිදහස් කර ගොවියෙකු වෙත භාර දෙන ලදී.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් පොසොන් පොහෝ දින පැණි කොමඩු බිම දන්සලක් පවත්වන ලදී. බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලද මෙම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 880 කට අධික පිරිසක් සහභාගි වූහ.

මේ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉරිදා (16) දිනට යෙදුණු පොසොන් පුර පසොලොස්වක පොහෝ දින කිලිනොච්චි, මාන්කුලම් සහ මල්ලාවී ප්‍රදේශයන්හි පොසොන් උත්සවය සංවිධානය කරන ලදී.

තවද, පොසොන් දිනයට සමගාමීව 571 වන බලසේනාවේ භටපිරිස් විසින් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී අයිස් ක්‍රිම්, බෙලිමල් සහ බිස්කට් දන්සල් පැවැත්විණි. එමෙන්ම, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ මාන්කුලම් විහාරස්ථානයේ මඤ්ඤොක්කා සහ බනිස් දන්සල් පවත්වන ලදී.

එමෙන්ම, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් තවත් දන්සල් කිහිපයක් පවත්වන ලදී. මෙම දන්සල් සඳහා කිලිනොච්චි, මාන්කුලම් සහ මල්ලාවී ප්‍රදේශයන්හි සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේගේ උපදෙස් මත 121 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන සෝමවීර ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය ඉරිදා (16) දින මොණරාගල කුඹුක්කන් හන්දිය අසල ෆ්‍රයිඩ් රයිස් දන්සලක් සංවිධානය කරන ලදි.

මේ අතර, පල්ලෙකැලේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන් විසින් සිය වාර්ෂික ‘පොසොන් පොහොය’ නිමිති කරගෙන පොසොන් දන්සලක් ඉකුත් අඟහරුවාදා (18) දින පෙර පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.

මෙහි සමාරම්භක උත්සවය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මීට අමතරව, 10 වන ගජබා ‍රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රුවන් ඇහෙලේපොළ ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි 10 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව පොසොන් පොහොය නිමිති කරගෙන ප්‍රදේශයේ සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් සඳහා මඩකළපුව දුම්රිය ස්ථානය අසල බත් දන්සලක් සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සපැමිණි 23 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම 231 වන බලසේනාවේ වැඩ බලන බලසේනාධිපති කර්නල් වසන්ත බණ්ඩාර ගේ සහභාගීත්වයෙන් මහජනයා සඳහා දන්සල විවෘත විය. url clone | Nike Air Max 270