Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2019 13:49:36 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘නිහැඬියාවේ හඬ’ රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරේ

මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනිම උදෙසා ජිවිත පූජා කල විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 132 ක් සහ සෙසුනිලයින් 2268 ක් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් ඉරිදා (03) දින උදෑසන කුරුණෑගල, බෝයඟනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘නිහැඬියාවේ හඬ’ රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

මව්බිම වෙනුවෙන් උත්තරීතර කැප කිරීම සිදුකල විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම උදෙසා පවත්වනු ලැබු අභිමානවත් රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගිවූ අතර රට වෙනුවෙන් ජිවිත පූජා කල විරෝධාර රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්, දුදරුවන් සහ ලඟම ඥාතීන් ඇතුළු පවුල්වල සාමාජිකයින් 5000 කට අධික පිරිසක් එක්ව රණවිරු ස්මාරකය අභියස පහන් දල්වා පුෂ්පෝපහාර පුද කරමින් විරෝධාර රණවිරුවන්ට සිය ගෞරවය පුද කර සිටියහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ‘රණබෙර’ වාදනය කරමින් රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමීන්ට ගෞරවය පුද කරමින් උදෑසන 8.30 ට පමණ උත්සව කටයුතු ආරම්භ කෙරිණි.

එහිදි බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික වතාවත් පැවැති අතර මහා සංඝරත්නය විසින් බෞද්ධ ආගමික වාතාවත් සිදුකරමින් චාරිත්‍රානුකූලව මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනිම උදෙසා ජිවිත පූජා කල විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 132 ක් සහ සෙසුනිලයින් 2268 ක් වෙනුවෙන් ‘පිං වැඩීම’ සිදුකරන ලදි.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, විජයාබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකරමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කල අතර ඔවුන්ගේ කැපවීම ප්‍රසංශාවට ලක් කළහ.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ දී විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ප්‍රථමයෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කල අතර ඉන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, විජයබාහු පාබල රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන්, විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයන්හි අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, සෙසුනිලයින් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්, දෙමාපියන්, දුදරුවන් සහ ලඟම ඥාතීන් රණවිරු ස්මාරකය අභියස මල් කලඹන් තබා විරෝධාර රණවිරුවන්ට සිය ගෞරවය පුදකර සිටියහ.

ක්‍රමයෙන් අඳුර වැටිම ආරම්භවීමත් සමඟ හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සි.ඩි. ගුණවර්ධන, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best Nike Sneakers | Air Jordan