Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2019 20:01:25 Hours

ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සේනපුර දී නවතමයෙන් ඉදිකල පිහිනුම් තටාකය විවෘත කෙරේ

සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය සෙනසුරාදා (23) දින විවෘත කරන ලදී.

මෙම පිහිනුම් තටාකයේ ඉදිකිරීම් කටයුතු සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී කර්නල් ජානක විතානච්චි ගේ ඉල්ලීමකට අනුව තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩල කාන්තා සංසදයේ ප්‍රධානි ෂෙහානි පියසේන මහත්මීය විසින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපතිතුමන් නියෝජනය කරමින් සපැමිණි උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගරු සරත් ඒකනායක මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගජබා රෙජිමේන්තුවේ අධිපතිතුමන් සහ ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි. ඉන් අනතුරුව, අණ්ඩුකාරතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගජබා රෙජිමෙන්තුවේ තුවාල ලැබූ විරෝධාර ආබාධිත රණවිරුවන් පුනරුත්ථාපනය වන සහ නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු සංකීර්ණයේ සංචාරයක නිරතවිය. එහිදි, නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමින් ඔවුනට ත්‍යාග ද පිරීනැමීය.

එදින පැවැති උත්සවයේ විශේෂතම අවස්ථාවක් ලෙස රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීම සඳහා සටන් වැඳ අත් පා පූජා කරන ලද ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු පිහිනුම් තටාක සංකීර්ණය අණ්ඩුකාරතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්, ගජබා රෙජිමේන්තුවේ අධිපති, තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩල කාන්තා සංසදයේ ප්‍රධානි ෂෙහානි පියසේන මහත්මීය, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සමරුඵලකය නිරාවරණය කරමින් විවෘත කළහ. දිගින් මීටර් 25 ක් සහ පිහිනුම් තීරු 8 කින් සමන්විත මෙම නව පිහිනුම් තටාකය තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයා විසින් ගජබා රෙජිමේන්තුව වෙත නිල වශයෙන් භාරදුන් අතර ආබාධිත රණවිරුවන්ගේ පිහිනුම් හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මෙම පිහිනුම් තටාකයේ විවෘත කිරීම සංකේතවත් කරන ලදි.

මෙහිදි, තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ සංවේදීතාව සහ පරිත්‍යාගශීලිත්වය ඇගයුමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ ෂෙහානි පියසේන මහත්මීය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ කවුන්සිල් සාමාජිකයින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු, සෙසුනිලයින්, පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. තවද, මෙම උත්සවය අවසානයේ, තෝරාගත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන් වෙත ක්‍රීඩා උපකරණ කට්ටල කිහිපයක් ද ප්‍රදානය කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම පාබල රෙජිමේන්තුවන්ගෙන් එකක් වන ගජබා රෙජිමේන්තුව, පසුගිය වසර 35 ක කාලය තුල රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය ආරක්‍ෂා කරගැනීමට කටයුතු කර ඇත. දශක තුනකට අධික කාලයක් පැවැති කුරීරු ත්‍රස්තවාදයෙන් මෙම රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් දිවිපුදමින් උත්තරීතර කැපකිරීමක් සිදුකළහ. එමෙන්ම, තුවාල ලබා ආබාධිත වූ ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් රැකබලා ගැනීම සඳහා වර්ෂ 1994 මැයි මස 27 වන දින ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය පිහිටුවන ලදී. bridgemedia | Nike Shoes