Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2019 09:58:03 Hours

වොලිබෝල් තරඟාවලිය - 2018 හී ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2018 හී අවසන් තරඟය බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වොලිබෝල් ක්‍රීඩාලෝලීන් රැසක් ද එක්ව සිටියහ.

යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මෙන්ම යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ක්‍රීඩාංගණය අභියස දී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණිමෙන් අනතුරුව සියලුදෙනා එක්ව යුද්ධ හමුදා ගීතය ගායනා කල අතර රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද ආරක්‍ෂා කළහ. අනතුරුව, තරඟ විනිසුරුවන් සහ ක්‍රීඩකයින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හඳුන්වාදෙන ලදී. තරඟය ආරම්භයට පෙරාතුව, වර්ණවත් සංස්කෘතික නර්ථනාංගයක් ඉදිරිපත් කල අතර වොලිබෝල් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොළොසන් හඬ මධ්‍යයේ අවසන් තරඟය ආරම්භ විය.

තරඟාවලියේ අවසන් තරඟයේ තරඟ වැදීම සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියහ. කෙසේ වෙතත්, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම සමත්වූ අතර තරඟාවලියේ අනුශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය. තවද, තරඟාවයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.

තරඟාවලිය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජයග්‍රාහකයින් වෙත පදක්කම්, කුසලාන සහ සහතිකපත් පිරීනැමීය.

තවද මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය අතරතුරදී, අන්තර් මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 හී ජයග්‍රාහකයින් වෙත ද කුසලාන සහ සහතිකපත් පිරීනැමීය.

යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ නියෝජ්‍ය සභාපති කර්නල් මංජුල කාරියවසම් විසින් ස්තූතියි කථාව සිදුකරමින් වොලිබෝල් තරඟාවලියේ සමාප්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ. Nike shoes | Releases Nike Shoes