Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2018 14:26:41 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් අන්තර් රෙජිමේන්තු සරඹ, තූර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලිය - 2018 අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් දර්ශනිය අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ, තුර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලියේ අවසන් තරඟ සහ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය අඟහරුවාදා (18) දින සන්ධ්‍යාවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වර්ණවත් සරඹ පෙළපාලිය තුලින් යුද්ධ හමුදා සාමාජිකයින් පවත්වාගෙන යනු ලබන විනය විද්‍යාමාන කරනු ලබන අතර එහිදි නරඹන්නන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ සරඹ භූමිය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා හට සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කළහ.

ඉන් අනතුරුව තුර්යවාදක කණ්ඩායම් සහ සරඹ උපදේශකවරුන්ගේ පියවර කෝදු සංදර්ශනය ආරම්භ කළ අතර, ඔවුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආකර්ෂණීය සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව හිමිකරගත් අතර පිළිවලින් දෙවන සහ තෙවන ස්ථාන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. තරඟාවලිය සඳහා කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායමක් සහභාගි වූ අතර තරඟාවලියේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

මෙහිදි පැවැති පියවර කෝදු තරඟාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගි වූ අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පියවර කෝදු කණ්ඩායම සමත් විය. එමෙන්ම, තරඟාවලියේ පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගැනීමට ගැමුණු හේවා බලකා සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පියවර කෝදු කණ්ඩායම් සමත්විය.

තවද, තූර්යවාදක තරඟාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා තුර්යවාදක කණ්ඩායම සමත්වූ අතර පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා තූර්යවාදක කණ්ඩායම් සමත්විය.

මෙම තරඟාවලියේ ඩ්‍රම් වාදන අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරී I කේ. චින්තක තේරීපත්විය. එමෙන්ම, තරඟාවලියේ කාන්තා අංශයේ හොඳම ඛණ්ඩභාර නිලධාරීනි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිතන් කේ.ටී.එම්. කහවලගේ තේරීපත්විය. පිරිමි අංශයේ හොඳම ඛණ්ඩභාර නිලධාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් එච්. ආරියරත්න තේරීපත්විය. තවද හොඳම සරඹ උපදේශක ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් එස්. සුමතිපාල තේරීපත්විය.

මෙම උත්සවයේ විශේෂිතම අවස්ථාව ලෙස තරඟාවලියේ හොඳම කණ්ඩායම, හොඳම ඛණ්ඩභාර නිලධාරීන්, කාන්තා සහ පිරිමි අංශය නියෝජනය කරමින් හොඳම සරඹ ඛණ්ඩ සහ හොඳම තුර්යවාදක කණ්ඩායම් නායකයින් වෙත කුසලාන, පදක්කම් සහ සහතිකපත් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. එහිදි සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය සුභපැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාව නැරඹීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා සහභාගි වූහ. Adidas shoes | adidas NMD Human Race