Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2018 11:15:04 Hours

‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය කුරුණෑගල දී විවෘත කෙරේ

ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා නාවික හමුදාධිපති සහභාගි විය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු මෙම අවස්ථාවට එක්ව සිටි සියළුදෙනා පළමුවෙන්ම ජාතික ගීය ගායනා කිීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු සියළුම රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය.

සියලුම ආගම්වලට අනුව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, රණබෙර, හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදාගනිමින් සිදුකල රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කල අතර, ඉතිහාසයේ පටන් පැවත එන රාජකීය සම්ප්‍රදායන් පිළිබඳ මතකය ද අවධි කරවීය.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදා සහ පොලිස් නියෝජිතයින් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට පුෂ්පෝපහාර පුදකරමින් රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට ගෞරව දක්වන ලද අතර, පැමිණ සිටි සියළුදෙනාට එම අවස්ථාව සංවේදී හැඟිම්බර අවස්ථාවක් විය.

රණවිරු ස්මාරකය වෙත ජනාධිපතිතුමන් පුෂ්පෝපාහර දැක්වීමෙන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ගේ බිරින්දෑවරුන් සහ ලඟම ඥාතින් ඔවුන්ගේ ගෞරවය අභිත රණවිරුවන් වෙත දැක්වීම සඳහා ස්මාරකය අභියස පෙළ සැදුණු අතර මතකයන් අවදිකරමින් අභිතම රණවිරුවන් සිහිපත් කර ස්මාරකය පාමුල දණින් නැමි පුෂ්පෝපාහර පුදකරන අවස්ථාවේ හැඟිම්බරව ඔවුන්ගේ කඳුලු ස්මාරකය පාමුල වැටිණි. එම මෙහෙත සංවේදි මතකයන්ගෙන් පිරිගිය හිඟිම්බර අවස්ථාවක් විය.

ක්‍රමයෙන් අඳුර වැටිමත් සමඟ හමුදා සම්ප්‍රදායන් ආරම්භ විය. හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව මහතා, ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන් මහතා, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමත් සමඟ පෙර පැවති ස්මාරකය ඉවත් කළ අතර, ඒ වෙනුවට වයඹ පලාත් සභාවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රණවිරු සේවා අධිකාරියේ මඟපෙන්වීම යටතේ කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගණය අසළ මෙම නව ස්මාරකය ස්ථාපිත කරන ලදි.

මෙහි සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් සිදු කරනු ලැබූ අතර, රට වෙනුවෙන් දිවිපිදු වයඹ පලාතේ සියලුම රණවිරුවන්ගේ නම් මෙහි දැක්වේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා මිලියන 27 ක් වැය වී ඇත.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවකාශය ලබාගැනිමට පෙර පැවති රණවිරු ස්මාරකය ඉවත්කර තිබුණත්, රජය රණවිරුවන් අමතක කර ඔවුන්ගේ ප්‍රතිමා ඉවත් කිරීමට පටන්ගත් බව පවසමින් යම් පිරිසක් විසින් ඒ සඳහා දේශපාලන අර්ථකථනයක්දීමට ද උත්සාහ කළහ.

නමුත්, 2016 අගෝස්තු මස කුරුණෑගල පැවති උත්සවයට සහභාගි වූ අතිගරු ජනාධිපතිතුමා නව රණවිරු ස්මාරකය ස්ථාපිත කිරීමට පොරොන්දු වූ අතර, ඒ සඳහා 2016 නොවැම්බර් මස 30 දින මුල්ගල් තැබූහ.

ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව අතිගරු ජනාධිපතිතුමා නව රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් “වත්මන් රජය කිසිදු අවස්ථාවක රණවිරුවන් හෙළා නොදැකීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් මෙන්ම ජාතියේ ගෞරවය ලබාදීමටත් උත්සාහ කරන බව” පැවසීය.

රණවිරුවන් පිළිබඳ එල්ලවී ඇති සියලුම චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියහ.

තවද ජනාධිපතිතුමන් අදහස් දක්වමින්, “රණවිරුවන්ගෙන් පලිගැනීමේ චෝදනාව ආණ්ඩුවට කරනු ලැබුවත්, සැබෑවටම රණවිරුවන්ගෙන් පලිගැනීමේ ක්‍රියාවලිය සිදුව ඇත්තේ පසුගිය පාලන සමයේ දී බවත්, රණවිරුවන්ගේ අභිමානය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ඇතිව වත්මන් ආණ්ඩුව සිය වගකීම් ඉටු කරන බවත්” වැඩිදුරටත් පැවසීය.

තවද එම අවස්ථාවේ දී, පළාත් සමූපකාර සංවර්ධ අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් වයඹ පළාත් සමුපකාර සාමාජිකයින්ගේ මූල්‍යමය පරිත්‍යාගයක් ලෙස රණවිරු සුභසාධක අරමුදල හරහා රණවිරු ස්මාරකය ඉදිකිරීම සඳහා චෙක් පතක් ද ජනාධිපතිතුමා වෙත පිරිනැමූ අතර, අනතුරුව ජනාධිපතිතුමා විසින් එය වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජී.බී.එම්. සිරිසේන මහතා වෙත ලබාදුන්හ.

මෙම උත්සවයේ දී වයඹ පළාත් ප්රධාන අමාත්ය ධර්මසිරි දසනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත නව රණවිරු ස්මාරකයේ අනුරුවක් ද පිරිනමන ලදි.

trace affiliate link | Sneakers