Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2018 15:00:06 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් ලක්මාල් දිවයිනට පැමිණේ

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් බදාදා (11) දින දිවයිනට පැමිණි අතර කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැවැති කෙටි උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ගුවන් තොටුපලේ දී පැවැති පිලිගැනීමේ උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් මෙන්ම කායවර්ධන, බරඉසිලීම් හා සවි එසවීම් කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.ජි.ජේ.කේ. විජේසුන්දර සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ දී කිලෝග්‍රෑම් 248 ක බරක් ඔසවමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත්විය.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් විසින් කිලෝග්‍රෑම් 114 ක් හා කිලෝග්‍රෑම් 134 ක බරක් මනා කළමණාකරිත්වයකින් මෙන්ම සමබරතාවයකින් ඔසවමින් සිය දක්‍ෂතාවය පිළිඹිබු කරන ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගි වූ අතර කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් 07 ක් සහ ක්‍රීඩිකාවන් 04 ක් මෙම සංචිතයට ඇතුළත් විය.

2018 අප්‍රේල් මස 04 වන දින ආරම්භ වූ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දින 11 ක් පුරාවට ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන අතර මේ සඳහා රටවල් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් භාර නිලධාරින් ද ඇතුළුව 6,600 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විවිධ ක්‍රිඩා ඉසව් 18 ක් සහ පැරා ක්‍රිඩා ඉසව් 07 කින් ද සමන්විත වන අතර 15,000 කට අධික ක්‍රීඩාලෝලින් පිරිසක් ස්වේච්ඡාවෙන්ම සිය සහයෝගය ලබාදෙනු ලබයි.

latest Running | Nike Air Force 1 , Sneakers , Ietp STORE