Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2018 11:20:15 Hours

10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල ඇරඹේ

10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්‍ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

ක්‍රීඩා කමිටුවේ සභාපති, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ආරක්‍ෂක සේවා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පත්ති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිල් රොසයිරෝ උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් විසින් ජාතික ධජය හා ත්‍රිවිධ හමුදා ධජයන් එසවීමෙන් අනතුරුව ජාතික ගිය ගායනා කරනු ලැබීය.

ප්‍රභූ සම්මාන පසුබිම් සංගීතයකින් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති, ගුවන් හමුදාධිපති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2 ක නිහඬතාවය සඳහා එක්වන ලදී.

තුර්ය වාදක නාද මාලාවන් මධ්‍යයේ යුද්ධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවට අයත් ක්‍රිඩකයින් තිදෙනෙකු විසින් ක්‍රිඩා ගිනිසිළුව දැල්විමෙන් අනතුරුව ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරන ලදි. ඉන් අනතුරුව පිළිගැනීමේ කථාව සිදුකරමින් ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් පැමිණි සිටි සියළුදෙනා පිලිගන්නා ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙවර ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල සඳහා ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි සඳහා යුද්ධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ ද සහභාගීත්වය සුවිශේෂි ‍වන අතර මෙහිදි ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයින් විසින් ක්‍රිඩාවේ සම්ප්‍රදායන් හා ක්‍රීඩා නීතිරිති වලට අනුකූලව ක්‍රීඩාවල නිරතවන බවට දිවුරුම් දෙනු ලැබුහ.

බැඩ්මින්ටන්, දැල් පන්දු, වොලිබෝල්, ක්‍රිකට්, කබඩි, මුෂ්ටි ප්‍රහාරක, ඔරු පැදිම, රග්බි, පාපන්දු, පිහිනුම්, ස්කෝෂ්, මේස පන්දු, ජල ක්‍රීඩා, බර ඉසිලිම, ජිම්නාස්ටික්, වූෂු සහ අනෙකුත් මළල ක්‍රීඩා ඉසව්වන් සඳහා 1000 කට අධික ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.

මෙම උත්සවය වර්ණවත් කරමින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන සංස්කෘතික කණ්ඩායම් හා නර්තන කණ්ඩායම් සංස්කෘතික සංදර්ශන ඉදිරිපත් කල අතර උත්සවය අවසානයේ දර්ශනීය ජිම්නාස්ටික් සංදර්ශනයක් ද ඉදිරිපත් කළහ.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙවර ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 සංවිධානය කරනු ලබයි.

Sportswear free shipping | Nike