Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වැඩිහිටියන්ට සහ සිසුන්ට භට පිරිස් විසින් සමාජ සත්කාරක සේවා

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් ජාඇල, පමුණුගම 306 බී සිංහ සමාජය සමඟ එක්ව සෙනසුරාදා (13) දින ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ශ්‍රී අග්‍රබෝධි විහාර භුමියේ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.

මෙම වෛද්‍ය සායනයේ දී රෝගින් 200 ක් පරික්ෂාවට ලක් කර වෛද්‍ය උපදෙස් ලබාදුන් අතර, 85 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදෙනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය හෘද රෝග, චර්ම රෝග සායන, අක්ෂි, උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ සායනයන්ගෙන් යුතුව සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහනට සමගාමීව පාසල් සිසුන් 100 කට වැඩි පිරිසක් වෙත පාසල් උපකරණ සහ සිවිල් වැසියන් 20 දෙනෙකු වෙත වියළි ආහාර පාර්සල් බෙදාදෙනු ලැබීය.

මොල්ලිපොතාන ප්‍රදේශයට දුරබැහැර සිට පැමිණි වෛද්‍ය සායනය සඳහා සහභාගි වූ රෝගින් සඳහා නොමිලේ ආහාරපාන හා අවශ්‍යතාවයන් හමුදා භට පිරිස් විසින් සපයාදෙන ලදි. මෙහිදි සිංහ සමාජයේ ආචාර්ය ජිවන්ත පෙරේරා විසින් ‘සැහැල්ලු ජිවිතයක්’ මැයෙන් හරවත් දේශනයක් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පවත්වනු ලැබීය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කීර්ති කොට්ටවත්ත ගේ අධීක්ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.කේ.ජේ.යු ජයරත්න විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

Mysneakers | Nike