Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 13:06:09 Hours

2018 නව වසර උදාව නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සුභාශිංසන පිරිනමමින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව සපථ කරයි

අද (02) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී 2018 නව අවුරුදු උදාව,රාජ්‍ය සේවා ප්‍රතිඥාව සපථ කරමින් සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ නව අවුරුදු පණිවුඩය ප්‍රකාශයට පත්කරමින් උත්සවශ්‍රීයෙන් චාරිත්‍රානුකූලව සමරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් දැනට විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් එතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර,නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර,ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා නව අවුරුදු උත්සව කටයුතු ආරම්භ කරන ලදි.

ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ප්‍රකාශයට පත්කරන ලදි.

සම්ප්‍රදායානුකූලව රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වා ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් 2018 නව වසර වෙනුවෙන්යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම සහ මෙහෙවර පිළිබඳව පණිවුඩය ප්‍රකාශයට පත්කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණිමත් සමඟ උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර,රසකැවිලි සහ අනෙකුත් නව අවුරුදු ආහාර පාන ඇතුලත් තේ පැන් සංග්‍රහය භුක්ති විදීම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විධායක ජෙනරාල් ඇතුළු යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සමඟින් එක්ව සිටියහ.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සියලුම නිලයින් සමඟ කතාබහා කරමින් නව වසර වෙනුවෙන් සුභ පැතුම් ද එක් කළහ.

නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය පහත සදහන් වේ.

දේශයේ ඒකීයත්වය හා නිදහස් නිවහල් බව සුරැකීමෙහිලා අසම සම මෙහෙවරක් ඉටු කරන, විජයග්‍රාහී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඔබ සියලුදෙනා වෙත, උදාවන නව වසර වෙනුවෙන් මගේ සුභාශිංසනය මෙසේ පිරිනමමි.

සාමකාමී රටක, සහෝදරත්වයෙන් යුතු පුරවැසියන් වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාව, නව වසර වෙනුවෙන් සූදානම් වනුයේ නැවුම් බලාපොරොත්තු රැසක් සමගිනි. එම ජනතා අපේක්ෂාවන් පිටුපස නිබඳ ශක්තිය බවට පත්වීමේ ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප වෙත පැවරී තිබේ. එබැවින් මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ මූලික කාර්යභාරයට අමතරව, කාලීනව අප වෙත පැවරෙන සියලුම වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්, රටේ ජනජීවිත සුරක්ෂිත කිරලීමේ ප්‍රමුඛ වගකීම, එළඹෙන නව කාල පරිච්ඡේදය තුළදීද අප විසින් ඉටු කළ යුතුව ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට, මව්බි‍මේ සුරක්ෂිතතාව වෙනුවෙනුත්, අනාගත පරපුරේ යහපත් හෙට දවස වෙනුවෙනුත් සිය වටිනා ජිවිත කැප කොට, රණක්ෂිතයට පත්වෙමින්, ශ්‍රමය හා කාලය කැප කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන් මේ මොහොතේ හදවතින්ම සිහිපත් කළ යුතුය. ඔවුන් සැම නොවන්නට, අද වන විට අපට මෙසේ නිදහසේ හා සාමකාමීව නව වසරක් වෙනුවෙන් නවමු බලාපොරොත්තු දල්වන්නට කිසිදා හැකි නොවනු ඇත. එසේ හෙයින් ඒ කැප කළ උදාර ජීවිතවල පැවති සාමයේ හා සංහිඳියාවේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වී තිබෙන මෙවන් පසුබිමක, එය අඛණ්ඩව ඉදිරියටත් රැගෙනයාම, ශ්‍රී ලංකා යුද්ධ හමුදවේ වත්මන් පරපුර වශයෙන් අප සතු සුවිශාල වගකීමකි.

එම වගිකීම ඉටුකිරීමේදි කාර්යක්ෂමව, ඵලදායී අයුරින්, එකා වන්ව එක අරමුණක් උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම තිර අදිටනින්, අවංකභාවයෙන් හා කැපවීමෙන් යුතුව ඉදිරියටත් තම රාජකාරියේ නිරතවීම තුළින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි ජන හදවත් තුළ පවතින කීර්තිනාමය, තවදුරටත් සුරක්ෂිත කරගැනීමට එමගින් හැකි වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

පුරා තිස් වසරක ක්‍රියාන්විත පසුබිම අවසන් වූ වර්ෂ 2009 න් පසුව යුද්ධ හමුදාව වෙත අනුයුක්ත වූ යුද්ධ හමුදා නිලධාරීන්, නිලධාරිනියන් හා සෙබළ සෙබළියන් රැසක් මේ වන විට සේවයේ යෙදී සිටි. ඔවුන් සියලුදෙනාම යුද්ධ හමුදාවේ වත්මන් අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් අද වන විට ඉටුකරමින් සිටින අතර, ක්‍රියාන්විත සමයේ එහි අත්දැකීම් සහිත අයවළුන් මෙන්ම, ඉන්පසුව යුද්ධ හමුදාවට අනියුක්ත වූ සියලුදෙනාගේම පරමාර්ථය වියයුත්තේ අප දිනාගත් නිදහස හා තිරසාර සාමය මතු පරපුර උදෙසාද උරුමකරදීමට ක්‍රියා කිරීමයි. එමෙන්ම ඒ සඳහා ඇප කැපවීමයි.

විශේෂයෙන්ම යුද්ධ හමුදාව අද වන විට හැකියවන් හා ශක්තීන් මත පදනම්ව ඉදිරියට පවත්වාගෙන යා යුතුව ඇත. එහිදී සමස්ත යුද්ධ හමුදාවෙන් තුනෙන් එකක් ජාතික ආරක්ෂාව හා රටේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරලීම උදෙසාත්, තවත් එක් කොටසක් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායකවීම සඳහාත් මෙන්ම, ඉතිරි කොටස යුද්ධ හමුදාවේ පරිපාලන හා නඩත්තු කටයුතු උදෙසාත් මෙහෙයවීම ඉතාමත් අත්‍යාවශ්‍ය වේ.

එමෙන්ම, එම ක්‍රියාවලිය සමඟ මේ වන විටත් සමස්ත යුද්ධ හමුදාවම සක්‍රීයව පෙළගැසී සිටින බැව්ද මේ මොහොතේදී සඳහන් කළ යුතුව ඇත. විශේෂයෙන්ම මේ උදාවූ 2018 නව වසර, ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස, අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. එහිදි ශ්‍රී ලංකාව තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් කරා රැගෙනයාමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් එම ජාතික අරමුණ සාර්ථක කරගැනීම උදෙසා දායකවීමටද නව වසරේදි අප වෙත සුවිශාල වගකීමක් පැවරී තිබේ.

විශේෂයෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම ජාතික ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ වැව් අමුණු 500 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අප යුද්ධ හමුදාවෙන් ලබාදෙන ශ්‍රම දායකත්වය එහිදි කැපී පෙනේ. එසේම එම දායකත්වය ඉදිරියටත් අවංකව, අප්‍රමාදීව හා දැඩි කැපවීමෙන් යුතුව ලබාදෙමින්, ශ්‍රී ලංකාව තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් වෙත රැගෙනයාම සඳහා ඔබ සියලුදෙනාගේම අඛණ්ඩ කැපවීම මම මේ මොහොතේ අපේක්ෂා කරමි. එමෙන්ම තිරසර කෘෂිකාර්මික සංවර්ධනයේ ඇති වැදගත්කම පිළිබඳව ඔබ සැමගේ පවුල්වල සාමාජිකයන්ද දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

එම ජාතික කාර්යභාරයට අමතරව, පසුගිය ක්‍රියාන්විත සමය තුළ සිය නිවාස, ගම් බිම් හා දේපළ අහිමිව, අවතැන්වූ ජනතාව ජාතික ආරක්ෂාවට හා සාමයට හානියක් නොවන අයුරින් නැවත පදිංචි කරවීමත්, ඉඩම් හා ඒවායේ අයිතිය ඔවුන් වෙත නීත්‍යානුකුලව ලබාදීමට කටයුතු කිරීමත්, යන ජාතික වැඩසටහන් වෙතද මේ වන විට යුද්ධ හමුදාව සෘජුවම දායකවෙමින් සිටින බැව් සතුටින් යුතුව සඳහන් කරනු කැමැත්තෙමි.

එපමණක් නොව, රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ජාතික සංහිඳියා යාන්ත්‍රණය සක්‍රීයව දියත් කිරීම සඳහාත්, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ආපදාවටපත් ජනතාවට සහනසේවා සැපයීම සඳහාත් අපගේ නිබඳ දායකත්වය මේ වන විට ලබාදෙමින් සිටින අතර, මෙම සෑම කාර්යභාරයක් පිළිබඳවම හා රටේ ජාතික ආරක්ෂාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන්ව අප විසින් නිරන්තරයෙන් දැනුවත් කරනු ලැබේ.

එමෙන්ම, එහිදි සමස්ත යුද්ධ හමුදාවේම විනයානුකුල හා අවස්ථානෝචිත ක්‍රියාකලාපය පිළිබඳව එතුමන් තුළ පවතිනුයේ අතිශය විශ්වාසනීය පිළිගැනීමකි. එවැනිම අපමණ වූ විශ්වාසයක් යුද්ධ හමුදාව කෙරෙහි රටේ සියලු ජන හදවත් තුළද පවතී. එබැවින් රාජ්‍ය නායකයා ප්‍රමුඛ සියලු රටවැසියන් තුළ අප කෙරෙහි පවතින එම ගෞරවය තවදුරටත් පත්වාගෙන යාමටත්, යුද්ධ හමුදාවේ අභිමානය යළි යළිත් සමාජය තුළ තහවුරු කිරීමටත් මේ එළැඹි නව වසරේදීද අප විසින් අධිෂ්ඨාන කරගත යුතු අතර, එය නව වසරේ සැබෑ පරමාර්ථය බවටද පත්කර ගතයුතුය.

එබැවන් ඉදිරියටත් අප සියලුදෙනා සෑම අවස්ථාවකදීම උසස් විනයකින් හා ඉතාමත් අවංක ලෙස රාජකාරී ඉටුකළ යුතු බැව් මේ මොහොතේදි අවධාරණය කරමි. ඉදිරි කාලයේදීද පැවරෙන සියලුම රාජකාරීන් ඉතාමත් උසස් අන්දමින්, කාර්යක්ෂමව හා නොපැකිළව ඉටුකිරීමටත්, පැන නගින සියලුම බාධක කම්කටොළු සාර්ථකව ජය ගැනීමටත් ඔබ සැමට ශක්තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

රටේ තිරසාර සාමය හා සුරක්ෂිතතාව වෙනුවෙන්, ජිවිත පූජා කොට, රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, ඔවුන්ගේ දුවාදරුවන් ඇතළු ඥාති හිතමිත්‍රාදීන්ට, ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම, කියාන්විතයේ දී රණක්ෂිතයට පත්ව මේ වන විට ප්‍රතිකාර ලබන රණවිරුවන්ට, ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර, දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත්, ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීනටත් 2018 වසර, සියලු යහපත් පැතුම් ඉටුවන නව වසරක් වේවායි පතමි.

දේශයට වැඩදායී විනයගරුක සෙබළ පිරිසක් ලෙස ඔබ ලබා ඇති ගෞරවය හා පිළිගැනීම, නව වසරේදීද එලෙසින්ම පවත්වාගනිමින්, පැවරෙන රාජකාරින් යහපත් ප්‍රගතියකින් යුතුව ඉටු කිරීමට අවැසි සියලු ශක්තිය ධෛර්ය හා වාසනාව ඔබ සැම වෙත ලැබේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට ජය සිරි සෙත සැපත සපිරෙන විජයග්‍රාහී නව වසරක් වේවා!

Running sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov