Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2017 09:29:37 Hours

නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ආගමික, ප්‍රජා සහ පරිපාලන නායකයින් හමුවෙයි

ප්‍රජා සම්බන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කොට නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් පත්වු මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් නැගෙනහිර පළාතේ ආගමික, ප්‍රජා, පරිපාලන සහ සිවිල් නායකයින් පිරිසක් සමඟ පසුගියදා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි සුහද සාකච්ඡාවක් පැවැත්විය.

මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් එක් එක් ජන කොටස් පිළිබඳ අවබෝධයක් ලබාගැනිමේ සහ ජනවාර්ගික කණ්ඩායම් අතර සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජිවත් වන මුස්ලිම් ජනතාවගේ ආගමික නායකයින්, ප්‍රජා නායකයින් සහ වෘත්තීකයින් සමඟ එහිදි සාකච්ඡා කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් මත විවිධ ජන කොටස් අතර සාමය සහ සහජීවනය නඟා සිටුවිම තුලින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනිමේ නව ප්‍රජා සහභාගිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම හමුව පැවැත්විය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනිම සඳහා විවිධ ජන වර්ගයන් අතර ප්‍රතිඵලදායී සන්නිවේදනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කල නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, එසේම මානව ප්‍රාග්ධනය සවිබල ගැන්වීම සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනගාගැනීමේ අරමුණින් සැලසුම් කර ඇති පාසැල් ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්ව වැඩසටහන්, කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් ව්‍යාපෘති, හරිතාගාර ආවරණ සහ ශාක රෝපණ ව්‍යාපෘති සහ මඩකළපුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව දැනුවත් කලේය. ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අදහස්වලට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් මුස්ලිම් නායකයින් විසින් ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම තුලින් තිරසාරත්වය සහ වාර්ගික සමගිය ලබාගැනීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා කළහ.

මෙම සාකච්ඡාවට එක්වු ආගමික නායකයින්, ප්‍රජා නායකයින් සහ මුස්ලිම් වෘත්තිකයන් යුද හමුදාධිපතිතුමන්ගේ සංකල්පයන්ට අනුකූලව තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනිම සඳහා විවිධ ජන වර්ගයන් අතර වාර්ගික සමගිය ඇති කිරීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට පොරොන්දු වූ අතර, මෙවැනි සුහද සාකච්ඡාවක් සංවිධානය කිරීම පිළිබඳව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයාටද කෘතඥතාව පළ කළේය.

මෙම සාකච්ඡාව සඳහා අන්වර් මුස්ලිම් දේවස්ථානයෙහි ප්‍රධාන භාරකරු අත්රාම් බාවා මහතා, කත්තාකුඩි මුස්ලිම් පදනමේ ජ්‍යෙෂ්ඨ සමාජික සාමදාන විනිෂ්චයකාර එම්. අයි. එම්. රහීම් මහතා, නුහා පදනමේ සභාපති රෂීඩ් හාජියාර් මහතා ඇතුළු ආගමික නායකයින්, ප්‍රජා නායකයින් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් මුස්ලිම් වෘත්තිකයින්, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සුහද සාකච්ඡාවට සහභාගී විය.

jordan Sneakers | Autres