Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2017 21:42:33 Hours

නව නාවික හමුදාධිපති යුද්ධ හමුදාධිපති හමුවේ

22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි යූඑස්පි එන්ඩිසී පිඑස්සී ඒඕඩබ්ලිව්සි අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි වයිස් අද්මිරාල් රණසිංහ වෙත හමුදා මුර ආචාරයක් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව එතුමන් පිළිගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය සඳහා පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි.

හමුදා ලේකම් කාර්යාලයේ දී නාවික හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් නව නාවික හමුදාධිපතිතුමාට හඳුන්වා දෙනු ලැබීය.

මෙම හමුවේ දී නාවික හමුදාධිපතිතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා ද්වීපාර්ශීක වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සුහද හමුව අවසානයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි.

නාවික හමුදාවේ ප්‍රබලතම ප්‍රහාරක බලඝණය වු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස 2002 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කළ මොහු ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදෙන ලද “සමුදුර” නෞකාවේ පළමු අණදෙන නිලධාරියාද විය. ඇමෙරිකාවේ සිට මෙම නෞකාව ශ්‍රී ලංකා‍ව වෙත සාර්ථකව යාත්‍රා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම සාගර තරණය සිදුකළ අණදෙන නිලධාරියා ලෙස මොහු නාවික ඉතිහාසයට එක්ව ඇත. මෙයට අමතරව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක, අධ්‍යක්ෂ නාවික අවි, නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම් මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි තනතුරු රාශියක් හොබවා ඇති අතර, 2008 වර්ෂයේ දී නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික විධානය, 2012 වර්ෂයේ ආඥාපති දකුණු නාවික විධානය සහ 2013 සිට 2014 දක්වා ආඥාපති බටහිර නාවික විධානය ලෙස ද කටයුතු කරනු ලැබීය.

දක්ෂ ක්‍රීඩකයෙකු ද වන මොහු තම සේවා කාලය තුළදී බැඩ්මින්ටන් ක්‍රීඩාව සදහා රාජකීය නාවික හමුදා ඇකඩමියේ වර්ණ වලින් පිදුම් ලබා ඇති අතර, 1997 වර්ෂයේදී පැවති නාවික හමුදා බැඩ්මින්ටන් තරඟාවලියේදී කේවල යුගල සහ මිශ්‍ර යුගල තරඟ ඉසව් සඳහා සම්මාන ද හිමිකර ගෙන ඇත.

වයිස් අද්මිරාල් රණසිංහ, සන්ධ්‍යා රණසිංහ මහත්මිය සමග විවාහ වී ඇති අතර, ඔවුනට සුපුනි රණසිංහ නම් දියණියක් සිටියි.

Running sports | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos