Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th August 2017 16:17:46 Hours

ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පස්වන වරටත් පසුගිය සිකුරාදා (11) දින පැවැත්විණි.

දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩියක පමණ නිශ්ශබ්දතාවයක් පවත්වා ජාතික ගීය ගායනා කර ආරම්භ වූ උත්සව අවස්ථාවේ ආරම්භක දේශනය විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එච්.එස්. රත්නකීර්ති විසින් සිදු කරන ලදි. ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගේ ඡායාරූපයට එම මැතිණිය විසින් මල්මාලාවක් පළඳවා ගෞරව පුද කළහ.

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයෙන් උත්සවයේ සම්භාවනීය ගුණානුස්මරණ දේශක වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නැසිගිය ජෙනරාල් ඩෙනිස් පෙරේරාගේ මතකයන් සිහිපත් කරමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදය පැරදවීමට සිවිල් - හමුදා එකමුතුවේ වැදගත්කම’ යන මැයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් ගුණානුස්මරණ දේශනය පවත්වන ලදි.

එම ගුණානුස්මරණ දේශනයට ප්‍රථම විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති විසින් යුද්ධ හමුදාධිපති වෙත චාරිත්‍රානුකූලව ගුණානුස්මරණ පදක්කම පිරිනැමිම ද සිදුකෙරිනි.

1949 ඔක්තෝබර් 10 වන දින එනම් ලංකා යුද හමුදාව පිහිට වූ සහ එතුමාගේ 19 වන ජන්ම දිනයේ ලංකා හමුදාවට එක් වූ ජෙනරාල් ඩෙනිස් පෙරේරා කිර්තීමත් යුද්ධ හමුදා දිවියකට උරුමකම් කියමින් 83 වන වියේදි එනම් 2013 අගෝස්තු මස 11 වන දින අභාවප්‍රාප්ත විය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අනතුරුව Mons කෙඩෙට් නිලධාරී පාසලෙන් මුලික පුහුණුව ලැබ, වැඩිදුර පුහුණුව සඳහා සැන්ඩර්ස්ට් රාජකීය හමුදා විද්‍යාපීඨයට (Royal Military Academy Sandhurst) බැඳි පාඨමාලා නිමාවෙන් පසු හමුදා පළවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට ඇතුලත් විය. පසුව එතුමා බ්‍රිතාන්‍ය කෙම්බර්ලි මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලාව හැදැරීය. පසුකලක යුද්ධ හමුදාධිපති ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රිචඩ් උඩුගම යටතේ නැගෙනහිර ප්‍රදේශයේ ‘ගල්ඔය ගැටුම්’ සමයේ රාජකාරි සිදු කළ අතර, ඊටත් ප්‍රථම ක්ෂේත්‍ර අණදෙන නිලධාරි රාජකාරින් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරී තනතුරු හොබවා අත්දැකීම් බහුල නිලධාරියෙකු ද විය. එසේම, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා 1977 - 1981 වර්ෂයන් හිදී යුද්ධ හමුදාධිපති වශයෙන් කටයුතු කර ඇත.

යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වශයෙන් කටයුතු කර ඇති අතර, 1995 සිට 2000 දක්වා වසර 05 ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් ද කටයුතු කරන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ රත්මලාන හි පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨය පිහිටුවීමේ පුරෝගාමීයෙකු වූ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හට මව්බිම වෙනුවෙන් සිදුකළා වූ විශිෂ්ඨ සේවය අගයමින් ලක් රජය විසින් 2000 වර්ෂයේ දී දේශමාන්‍ය යන ගෞරව නාමය පුදනු ලැබීය. විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරම්භක සභාපති වන්නේ ද මෙතුමාය.

මෙම ගුණානුස්මරණ උත්සවයේ සමාප්ති දේශනය විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති මේජර් ජෙනරාල් එල්.සී.ආර් ගුණවර්ධන (විශ්‍රාමික) විසින් සිදු කරන ලදි.

නාවික හමුදාධිපති මෙන්ම සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසක් සහ ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

best shoes | Air Jordan Release Dates 2021 Updated , Gov