Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th August 2017 16:00:26 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ නව පහසුකම් යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

කුරුණෑගල, වැහැරවත්ත හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයට අයත් නවීන පහසුකම් සහිත සංකීර්ණය සෙනසුරාදා (12) දින උදෑසන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කරන ලදි. නව පහසුකම් සහිත මෙම සංකීර්ණය නව ශ්‍රවණාගාරයකින්, පුස්තකාලයකින් සහ පරිගණක විද්‍යාගාරයකින් සමන්විතය.

එහි පැමිණි යුද්ධ හමුදාධිපතිතුමා වෙත එම රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූහ. අනතුරුව, මහසඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඵලකය නිරාවරණය කරමින් නව ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබීය.

ඉන්පසු, පරිගණක 30 කින් සමන්විත නව පරිගණක විද්‍යාගාරය සහ පුස්තකාලය විවෘත කළ අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා (විශ්‍රාමික) විසින් වටිනා පොත් තොගයක් ද එහිදි නව පුස්තකාලය වෙත පරිත්‍යාග කරන ලදි.

මීට සමගාමිව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ඒකකයේ සභාපතිනි රුවිනි සුජීවා වික්‍රමරත්න මහත්මියගේ ආරාධනයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය විසින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ඒකක නව කාර්යාලය විවෘත කරන ලදි.

එහිදි චන්ද්‍රිකා සේනානායක මහත්මිය සහ වික්‍රමරත්න මහත්මිය සමඟින් අනෙකුත් නිලධාරින් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් මහනුවර සහ හලාවත රෝහල්වල බලධාරීන් වෙත නිදන ඇඳ 17 ක්, ආබාධිත රණවිරුවන් වෙත රෝද පුටු 34 ක් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රණවිරු පවුල්වල ළමුන් තිදෙනෙකු වෙත ශ්‍රවණ ආධාරක ද පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමා සිය කතාවේ දී ස්වේච්ඡා රෙජිමේන්තු අතර විශාලතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ක්‍රියාන්විත සහ ක්‍රීඩා ජයග්‍රහණ ඇගයීමට ලක් කළ අතර, මෙම සංචාර සිහිවනු වස් එම මූලස්ථානයේ ‘නා’ පැළයක් ද රෝපණය කළහ.

අනතුරුව, නිලධාරින් සහ සෙසු නිලයින් සමඟින් සුහද පිළිසදරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමා වැහැරවත්ත කඳවුරු පරිශ්‍රයේ පිහිටි නිලධාරි නිවස්නය ද විවෘත කරන ලදි.

මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙත සමරු තිළිණයක් සහ එදින වැඩසටහනට අදාළ ඡායාරූප ඇල්බමයක් ද පිළිගැන්විය.

යුද්ධ හමුදාධිපතිතුමා නික්මයාමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

latest Nike Sneakers | Footwear