Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2016 10:07:48 Hours

යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින් වෙත නවීන උපාංග

පැරා මලල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය මෙන්ම විදේශීය තරඟවලදී සිය දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අඟහරුවාදා (22) දින යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින් යුද හමුදා මුලස්ථානය වෙත කැඳවා රුපියල් මිලියන 10 ක් වටිනා නවින කෘත්‍රිම පාද 08 ක් සහ නවින විදුලි රෝද පුටු 05 ක් තෑගි කරන ලදි.

ඔවුන්ගේ ශාරීරික ආබාධ නොතකා විවිධ දේශීය හා විදේශීය මලල ක්‍රීඩා ඉසව් තුළින් ජයග්‍රහණ හිමිකර ගනිමින් යුද හමුදාවට මහත් ආඩම්බරයක් ගෙන දුන් පැරා ක්‍රීඩකයින් 08 දෙනෙකු වෙත කෘත්‍රිම පාද ලබාදෙන ලදි. එමෙන්ම විවිධ තරඟ ඉසව් සඳහා භාවිතා කිරීම සඳහා නවීන විදුලි රෝද පුටු 05 ක් ද මෙහිදි ලබාදෙන ලදි.

ඒ අනුව, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුව පෙන්වා දී ඇත්තේ අඩු පහසුකම් මට්ටමේ වූව ද යුද හමුදා පැරා ක්‍රීඩකයින් සිය ජයග්‍රහණ ලබා ගන්නා බවයි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් උභය මැදවල, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් තිරුවානකරුසු, රාගම රණවිරු සෙවන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්. කුලතුංග සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

තවද ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම ප්‍රතිලාභීන් වෙත සිය සුභපැතුම් එක් කළ අතර, පැරා තරඟ පිළිබඳව ලෝකයේ වැඩි අවධානය යොමු වී ඇති බවත් එහි වැදගත්කමත් මෙහිදි අවධාරණය කරන ලදි.

Sportswear Design | Air Jordan