Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2017 15:45:01 Hours

‘වන රෝපා’ රුක් රෝපණ ව්‍යාපෘතියට ආධාරයක් වෙමින් යුද්ධ හමුදාධිපති ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරයි

අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් අද උදෑසන (27) කන්දකාඩු, කන්තලේ යුද්ධ හමුදා ගොවිපලේ දුර්ලභ ශාක වර්ග 1500 ක් වගා කරමින් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරන ලදි.

මෙම යුද්ධ හමුදා වගා ව්‍යාපෘතියේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වූ අතර, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර, පරිසර සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද යුද්ධ හමුදාධිපතිතුමා සමඟ එක්ව ‘රණවිරු හරිත අරණ’ ආරම්භය සංකේතවත් කරමින් පැළ රෝපණය කළහ.

ජාතික ගීය හා ඉන් අනතුරුව පරිසර ගීතය ගායනා කොට මෙම රුක් රෝපණ වැඩසටහනේ ජාතික වැදගත්කම පිළිබඳව කෙටි දේශණයකින් පැහැදිලි කර දී උත්සව කටයුතු ආරම්භ විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම ජාතික වගා ව්‍යාපෘතියට පුද්ගලිකවම උනන්දුවක් දක්වමින් යුද්ධ හමුදා කඳවුරු තුල භාවිතයට ගත හැකි සියළුම ඉඩම්වල වගාවන් ඇරඹීමට මේ වනවිටත් භටපිරිස් උනන්දු කර ඇත. ඒ අනුව, කන්දකාඩු සහ අනෙකුත් යුද්ධ හමුදා ගොවිපලවල්වලද රුක් රෝපණ වැඩසටහන් අරඹා තිබේ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ මෙම සංචාරයේදී කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලෙහි ඉතා අඩු මිලට කාබනික පොහොර යොදාගනිමින් එළවළු, වී වගාව සහ අනෙකුත් වගාවන් පිළිබඳව ද විමර්ශණය කරන ලදි.

නව කෘෂිකාර්මික සොයාගැනීම්, නව වැඩි ඵලදායී ක්‍රම සහ නවීන තාක්‍ෂණික ශිල්පීය ක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් ද සාර්ථක ලෙස වගා කටයුතු ඉටුකරන අයුරු පිළිබඳව මෙහිදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමාට පැහැදිලි කර දෙන ලදි. වර්තමානයේදී කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට ආසන්න පිරිසක් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ සේවයේ නියුතුව සිටී.

පසුගිය ඔක්තෝබර් මාසය මුල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ බිම් ප්‍රදේශයෙන් තුනෙන් එකක් වන වගාවෙන් ආවරණය කිරීමේ අරමුණින් ‘වන රෝපා’ නම්වූ තුන් අවුරුදු ජාතික වන වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මෙම වන වගා ව්‍යාපෘතිය තිරසාර සංවර්ධනයක් (sustainable development) අරමුණු කරමින් සිදුකරන ව්‍යාපෘතියක් වන අතර, කැලෑ එළිපෙහෙලි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වන ගහණය පසුගිය වසර කිහිපය තුලදී සීඝ්‍රයෙන් අඩුවී ඇති බැව්ද අනාවරණය වී තිබේ.

කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ රුක් රෝපණයට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව මහවැලි සංවර්ධන අධිකාරිය විසින් සේරුවිල සහ සෝමාවතිය අතර මාර්ගයේ දෙපස කි.මී. 9ක දුර ප්‍රමාණයක වටිනා දුර්ලභ පැල රෝපණය කිරීමක්ද සිදුකරන ලද අතර, ගල්කන්ද මහා විද්‍යාලයේ සහ සිංහපුර විද්‍යාලයේ සිසු දරුවන්ද මේ සඳහා සහයෝගය ලබාදෙන ලදි.

Asics shoes | Nike Off-White