Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 12:17:08 Hours

‘රට රකින ජාතියට’ යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් තවත් නිළධාරීන් 191 ක්

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී කෙඩෙට් නිළධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිළධාරීන් 191 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ එය සංකේතවත් කරමින් උරහිසෙහි නිළ ලාංඡන පළඳා, පැමිණ සිටි සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේ ඉරිදා (17) දින විචිත්‍රවත් පෙළපාලියකින් විසිර ගියහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තියේදී යුද්ධ හමුදා විද්‍යාපීඨ ප්‍රධාන දොරටුව අසලදී පිරිනමන ලද කඳවුරු සම්මාන මුරයත් සමග උත්සවයේ ආරම්භය සනිටුහන් විය.

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය පිළිගැනීමට පෙර ආරක්ෂක ලේකම් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න හා එක්ව පිළිගැනිමෙන් අනතුරුව, එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රට දැය වෙනුවෙන් තම ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකරනු ලැබීය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙරවරු 9.00 ට පමණ යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ පිටියට පැමිණීමත් සමග විචිත්‍ර ඇඳුමින් සැරසී සිටි යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායමේ තූර්ය වාදනයත් සමග ප්‍රධාන විසිරයාමේ පෙළපාලිය ආරම්භ වූ අතර, එහිදී නව කෙඩෙට් නිළධාරීන් ප්‍රධාන අමුත්තා අභියස පෙළපාලියේ ආචාර සමාචාර දක්වන ලදි. අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් හා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෙඩෙට් නිළධාරීන් නව යුද්ධ හමුදා නිළධාරීන් ලෙස අධිකාරියට පත්කිරීම සනිටුහන් කරමින් අසිපත් ප්‍රදානය සිදු කරන ලදි.

මෙම කෙඩෙට් නිලධාරී විසිරයාමේදී නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාවන්ට අයත් නිලධාරින් සහ නිලධාරිණියන් 178 දෙනෙකු (නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 84 ට අයත් නිළධාරීන් 50 ක්, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ නිළධාරීන් 106 ක්, චීන මහජන සමූහාණ්ඩු හමුදා විද්‍යාපීඨයේ නිළධාරීන් 03 ක්, නිත්‍ය කෙඩෙට් නිලධාරීණී පාඨමාලා අංක 15 හි නිළධාරිණියන් 19 ක් ) සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිණියන් 13 ක් ( ස්වේච්ඡා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 57 ‘ඒ’ හි නිළධාරීන් 03 ක් හා ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීණී පාඨමාලා අංක 14 හි නිළධාරිණියන් 10 ක්) ද සමඟින් කැඩෙට් නිලධාරින් සහ නිලධාරිණියන් 191 දෙනෙකු අතිගරු ජනාධිපතිතුමන් සපැමිණි මෙම පෙළපාලියේදී අධිකාරී පත්වීම් ලැබ විසිර ගියහ.

සුන්දර කඳුවැටියෙන් වටව මද සුළඟින් යුතු මනස්කාන්ත දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ පිටියේ පැවති මෙම කෙඩෙට් නිළධාරී විසිරයාමේ පෙළපාලියට ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.ආර්.ඒ.ජේ.කේ.කේ බස්නායක විසින් අණදීම සිදුකරන ලද අතර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් ආර්.ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්.එම්.එන්.ආර්.එන්.ඩී සමරකෝන් පෙළපාලියේ දෙවන අණදෙන්නා ලෙසත්, බනි 1 ඩබ්ලිව්.බී.එන්.එස් මෙන්ඩිස් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සැරයන් මේජර් ලෙසත් පෙළපාලියට සහභාගී වූහ.

කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 84 බළඇණි භාර නිලධාරී එස්.ඩී.පී.ඩී ප්‍රේමරත්න ද, කණ්ඩායම් අංක 84 බී හි කණ්ඩායම් භාර නිලධාරී ආර්.එම්.පී.වී.බී ඉලුක්කුඹුර, කාන්තා ඛණ්ඩ භාර නිලධාරීනී අයි.ඒ.කේ ඉඳුරගේ, ස්වේච්ඡා කාන්තා ඛණ්ඩ භාර නිලධාරීනී එම්.ජී.එල් ගුණරත්න ඔවුන් අයත් නිළධාරී පාඨමාලාවන්හි ඉහළම ලකුණු ලබාගනිමින් ප්‍රථම ස්ථානයට හිමි සම්මානයන් ලබාගන්නා ලදි.

යුද්ධ හමුදා විද්‍යාපීඨ පුහුණුවෙන් අනතුරුව විසිරගිය මෙම නිළධාරීන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු දූ පුතුන්ගෙන් සැදුම්ලත් රට රකින ජාතියට එක්ව දිවයින පුරා රාජකාරී ස්ථානයන්ට අනුයුක්තව තම මෙහෙවර ඉටුකරනු ඇත.

විසිරයන නව කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිණියන් ඇතුළුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමන් “සුනාමි ව්‍යවසනය ඇතුළු ස්වභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලාංකේය ජාතිය විපතට පත්වූ විට එම ජනතාව මුදවාගැනිම සඳහා යුද්ධ හමුදාව ක්‍රියාකල ආකාරය මට හොඳට මතකයි. අපගේ යුද්ධ හමුදාව ලොව පිළිගත් ‍ගෞරවනීය හමුදාවක් බවත් අද දින නිළධාරීන් ලෙස විසිරයන ඔබලාත් මාතෘභූමියට සේවය කිරීමට අද පටන් මෙම අභිමානවත් සංවිධානයේ සාමාජිකයන් වන බවත්.” වැඩිදුරටත් අවධාරණය කරන ලදී. එහිදි ජනාධිපතිතුමන්, ශ්‍රී ලාංකේය සන්නද්ධ හමුදාවන් අනාගතයේදී ලොව විශිෂ්ඨතම හමුදාවක් බවට පත්කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද වැඩිදුරටත් පවසන ලදි.

ඉන් අනතුරුව විසිරයන නිළධාරීන්ට අතිගරු ජනාධිපතිතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීන ලදී.

මේ අතර, සරඹ පිටියේ පැවති විසිරයාමේ පෙළපාලියෙන් අනතුරුව යුද්ධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේදී අභිනව නිලධාරීන්ගේ අධිකාරියට පත්කිරීමේ නිළ ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවයට ඉතිහාසයේ ප්‍රථම වරට අතිගරු ජනාධිපතිතුමන් සහභාගි වූ අතර, එහිදි නිලධාරින් කිහිපදෙනෙකුගේ නිළ ලාංඡන පැළඳවීමට ඔවුන්ගේ දෙමාපියන් සමඟ අතිගරු ජනාධිපතිතුමන් ද සහභාගි විය. එම අවස්ථාවට ආරක්ෂක ලේකම්තුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ද සහභාගි විය.

අතිගරු ජනාධිපතිතුමන් මෙම උත්සවයට සහභාගීවීම සනිටුහන් කරමින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න විසින් සමරු තිලිණයක් ත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය. එමෙන්ම, කැඩෙට් නිලධාරි නිවස්නයේ සමරු පොතේහි සටහනක් තැබීමට ද ජනාධිපතිතුමන් අමතක නොකළේය.

විසිරයාමේ උත්සවයට පෙර දින (සෙනසුරාදා (16) දින) මෙම විසිරගිය නිලධාරීන් විසින් කර්නල් ඒ.එෆ් ලාෆීර් අනුස්මරණ ශාලාවේදී ඉදිරිපත් කරන ලද අවසන් නිල ඉදිරිපත් කිරීමට (presentation) ආරක්ෂක ලේකම්තුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වූ අතර, අනාගත අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ’ එහි මාතෘකාව විය.

මෙම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘නිරන්තර ස්වභාවික විපත් සහ ඉන් ලෝක සාමයට ඇතිවන අනිටු බලපෑම් සහ සන්නද්ධ හමුදා කාර්යභාරය’ යන තේමාවෙන් රචිත ග්‍රන්ථය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සේනාවිධායක විසින් ආරක්ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපති වෙත පිළිගැන්වීමද මෙම අවස්ථාවේදි සිදුවිය.

ඉරිදා (17) වන දින සන්ධ්‍යාවේ දී නිළධාරීන් විසිරයාමේ පෙළපාලියේ අධිකාරියට පත්කිරීමේ රාත්‍රි භෝජන සංග්‍රහය (Commissioning Dinner) පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ශාලිනී වෛද්‍යරත්න මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්ද්‍රිකා සේනානායක මහත්මිය ද ආරාධිතයන් අතර වූහ.

ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරීන්, විශේෂ ආරාධිතයින්, දෙමව්පියන්, සුභපතන්නන් හා විසිරගිය නිලධාරීන්ගේ ඥාතීන් එම අවස්ථාවට සහභාගී විය.

Sports News | Women's Nike Superrep