Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 09:14:55 Hours

‘දියකාවා යුද අභ්‍යාසය IX – 2018’ සැප්තැම්බර් මස පැවැත්වීමට සියල්ල සුදානම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරික්ෂකයින් 100 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 06 දින ආරම්භ කිරීමට නියමිත බව අඟහරුවාදා (28) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඒ සබැඳි මාධ්‍ය හමුවේ දී යුද්ධ හමුදාධිපතිතුමා වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් පවසන ලදි.

අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් සහ සහභාගීවන්නන් අතර දැනුම සම්ප්‍රේරණය කිරීමට සහ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබන බව ආඥාපතිතුමා විසින් එහිදි වැඩිදුරටත් පැවසීය.

2018 සැප්තැම්බර් මස 26 වන දින අවසන් වීමට නියමිත මෙම අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇති අතර එය නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

21 වන ශතවර්ෂයේ වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂක තර්ජන ලෙස සලකන රාජ්‍ය විරෝධි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය, අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය වර්ථමානයේ පොදු ප්‍රවිෂ්ඨයක් බවට පත්ව ඇති මෙම අසමමිතික ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම පිළිබඳ විශේෂ සැළකිල්ලක් දක්වමින් මෙම වසරේ යුද අභ්‍යාසය දියත් කිරීමට සැලසුම් කර ඇති බව මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් මෙහිදි පැවසීය.

මූලික වශයෙන් සැලසුම් සකස් කිරීම, පුර්ව සුදානම, තාක්ෂණික භාවිතය, සමායෝජනය අණදිම, පාලනය, යුද්ධෝපාය ක්‍රම, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබදව මෙම අභ්‍යාසයේ දී පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

දියකාවා යුද අභ්‍යාසය මෙම වසරෙහි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම මත අභ්‍යාස අධ්‍යක්‍ෂක කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ඇතුලු විශේෂ කමිටුවක පුර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබයි.

සරල සමාරම්භක උත්සවයකින් අනතුරුව මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 06) සිට මෙම අභ්‍යාසය ආරම්භ කරනු ලබන අතර, මෙහි නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න සහ කර්නල් විපුල ඉහළගේ කටයුතු කරනු ලබයි.

විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් සිදු කරනු ලබන මෙම අභ්‍යාසය සඳහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවික හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන් සහභාගි වන අතර, මෙහිදි විශේෂ ක්‍රියාන්විත බලකායට අයත් භට පිරිස් යුද උපක්‍රම, යුද න්‍යායන් සහ යුද පිළිවෙත් න්‍යායාත්මක ක්‍රියාන්විත රාමුවක් තුල ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන අයුරු පුහුණු කෙරේ.

ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජපානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මලයාසියාව, නේපාලය, නයිජිරීයාව, පකිස්තානය, රුසියාව, සිංගප්පුරුව, සුඩානය, තුර්කිය, එක්සත් රාජධානීය, ඇමරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් ද මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගි වන බව ද තහවුරු කර ඇත. මෙම විශේෂ ක්‍රියාන්විත අභ්‍යාස විස්සක් පමණ ක්‍රියාවට යෙදවීම තුලින් සහභාගිවන දෙස් විදෙස් හමුදා භටයින්ට එම මුලික න්‍යායාත්මක ක්‍රමෝපායන් ප්‍රයෝගිකව අත්දැකීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 26 වන දින කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම යුද අභ්‍යාසය යුද, නාවික සහ ගුවන් හමුදාවන් සහභාගිවන ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස පවත්වනු ලැබේ. එම යුද අභ්‍යාසයේ අවසන් අධියර නිමාවීමෙන් අනතුරුව, පසුදින එනම් (27) දින අභ්‍යාසය පිළිබඳ පසුකථනයක් පැවැත්වීමෙන් පසු දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ හී සමාප්තිය සටහන් කෙරෙණු ඇත.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජයට පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හැකියාවන් යථාතත්ත්වයෙන් පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරීව සෑම අවස්ථාවකට සහ ඕනෑම අනාගත අභීයෝගයකට මුහුණදී රටෙත් එහි ජනතාවගෙත් පුර්ණ ආරක්‍ෂකයා ලෙස පෙනීසිටිම යන ආදී තත්ත්වයන් ස්ථාවරව පවත්වාගෙන යාම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අරමුණ වී ඇත.

අඟහරුවාදා දින පැවති මෙම මාධ්‍ය හමුව සඳහා දියකාවා යුද අභ්‍යාසයේ අභ්‍යාස අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, ජනමාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් උපුල් ඉහළගේ, ගුවන් හමුදාවේ ගෘප් කපිතාන් විශ්ව සාමන්ත සහ නාවික හමුදාවේ කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු ද එක්ව සිටියහ. Running sports | Nike SB