Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2017 12:14:03 Hours

‘ජාතික සමගිය’ විදහාපාමින් ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ

දිළිඳුභාවය තුරන් කිරීම සඳහා කැපවෙමින් සහ ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව හා සමගිය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘ජාතික සමගිය’ තේමාව කරගත් අභිමානවත් 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සෙනසුරාදා (04) දින උත්කර්ශවත් අයුරින් සමරන ලදි.

මෙවර, ප්‍රධාන උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ සම්මාන පෙළපාලිය ද සමඟින් මහත් අභිමානයෙන් සහ ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වන ලදී.

69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, කථානායකතුමා, අගවිනිසුරුතුමා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අනෙකුත් මැති ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ක්ෂ ජෙනරාල්, රාජ්‍යත්‍රාන්තික නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද ඇතුලු සියලු ආගමික නායකයින් ද සහභාගි වූහ.

2009 මැයි මසට පෙර ලංකා මාතාව මුහුණදුන් කටුක අත්දැකිම්වලින් අනතුරුව, සංවර්ධනය සහ සංහිඳියාව, දුප්පත්කම තුරන් කිරීම හා සහජීවනය ඇතිකරලීමේ අරමුණින් යුතුව ‘ජාතික සමගිය’ තේමා කර ගනිමින් මෙවර සංවත්සර උත්සවය පවත්වන ලදි.

එහි දි උත්සව භූමියට ත්‍රිවිධ හමුදා පොලීසියේ පෙරගමන් රථ පෙළ හා පොලිස් අශ්වාරෝහක කණ්ඩායමේ අලංකාරවත් පෙරහැරකින් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් පිළිගන්නා ලදී.

ඉන්පසු දෙවන අදියරේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද, නාවික, ගුවන් හමුදාපතිවරු මෙන්ම පොලිස්පතිවරයා විසින් ජනාධිපතිතුමා ප්‍රධාන ධජ එසවිමේ ස්ථානය වෙත කැඳවා ගෙන ආ අතර, මඟුල් බෙර හා ජයසක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් ජාතික ධජය එසවීනි. එහි දී පළාතේ බාලිකා පාසල් 11 ක සිසුන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කළහ.

අනතුරුව, ජනාධිපතිතුමා රැඳී සිටි විශේෂ පීඨිකාව ඉදිරිපිට දී කොළඹ ප්‍රදේශයේ පාසල් 25 ක ශිෂ්‍යාවන් කණ්ඩායමක් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් සහ ‘දේවෝ වස්සතු කාලේන’ යන ශ්ලෝකය ගායනා කරමින් ආශිර්වාද කළහ. පසුව රට ජාතිය වෙනුවෙන් දිවි පිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුනට ගෞරව දැක්වීමට සැවොම එක්වූහ.

මෙම අවස්ථාවේ චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුදා හරිමින් ත්‍රිවිධ හමුදා ගෞරව ද සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය.

ඉන්පසු, ජනාධිපතිතුමා ජාතිය අමතමින් පටු අදහස් දුරලා තාරාතිරමකින් තොරව නැගී සිටිමින් එක්ව කටයුතු කර සෞභාග්‍ය කරා යන ගමනේ බාධක ජයගැනීමට සහයෝගය ලබාදෙන ලෙස සියලු ශ්‍රී ලංකීකයන්ගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම, අද රටෙහි සියලුමදෙනා භුක්තිවිඳින නිදහස ලබාගැනීම වෙනුවෙන් කැපකිරිම් සිදු කරන ලද සියලුදෙනා හට සිය හෘදයාංගම ස්තුතිය ද එහිදි පුද කර සිටියහ.

ජනාධිපතිතුමාගේ කථාවෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් හා සෙසු නිලයින්, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයින් පෙළපාලිය සඳහා සුදානම් බව පෙළපාලි අණදෙන්නා විසින් හමුදාමය චාරිත්‍රානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත රපෝර්තු කරන ලදි.

මෙම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් සිය ගණනක් ආචාර පෙළපාලියේ ගමන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කලහ.

ප්‍රසිද්ධ කලාකරුවන්ගෙන් සමන්විත සංස්කෘතික කණ්ඩායම්, පාසල් සිසුන් සහ පලාත් මට්ටමේ අනෙකුත් කලාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අංගයන්ගෙන් මෙම අවස්ථාව තවත් වර්ණවත් විය.

සියලු ආගමික නායකයින් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙවර නිදහස් දින සැමරුම් උළෙල නැරඹිම සඳහා එක්ව සිටියහ.

කොළඹ සහ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කලාකරුවන් දෙදෙහසකට වැඩි පිරිසක් ද, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් පන්දහසක් පමණ ද මෙවර පෙළපාලිය සඳහා සහභාගි වූහ.

එදිනම මධ්‍යහන 12.00 ට ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ චෛත්‍ය පාර ප්‍රදීපාගාරය අසල දී කාලතුවක්කු උණ්ඩ 25 ක් ගුවනට මුදා හරිමින් ජාතිය වෙනුවෙන් සිය උපහාරය පිදීය.

Nike sneakers | Sneakers