Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2018 15:25:09 Hours

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) යාපනයේ දී සාර්ථකව නිමවේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) බදාදා (07) දින යාපනය අර්ධද්වීපය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මයිලඩි වෙඩි පිටියේ දී පවත්නු ලැබීය.

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය මගින් හමුදා සාමාජිකයින්ගේ භෞතික ව්‍යායාම සහ සටන් කාර්යක්‍ෂමතාව මෙන්ම ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරනු ලබන අතර එමගින් ඔවුන්ගේ මනස සහ ශරීරයේ සමබරතාවය ගොඩනැගිමට ශක්තිය ලබාදෙයි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යාපනය ආර්ධද්වීපයේ දී පළමු වරට මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබු අතර අනාගතයේදී යුද්ධ හමුදා සාමාජිකයින්ට මුහුණදීමට සිදුවන විවිධ වූ අභියෝග හා විවිධ පරිසරයන්ට මුහුණදීමට අවශ්‍ය ශක්තිය වැඩිදියුණු කිරීම මෙම තරඟාවලිය මගින් සිදුකෙරේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ගේ පූර්ණ අධික්ෂණය යටතේ 51 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම ඇතිව 515 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සේනක කස්තුරිමුදලි ගේ සම්බන්ධිකරණයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත සහ පුහුණු) ලුතිනන් කර්නල් නිශාන්ත මුතුමාල් විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

 

මෙම තරඟාවලියේ දී යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කණ්ඩායම් 42 ක් සහභාගි වූ අතර තරඟාවලිය 2018 පෙබරවාරි මස 26 දින සිට මාර්තු මස 06 වන දින දක්වා පැවැත්විණි. මෙම තරඟාවලිය හොඳම කණ්ඩායම මෙන්ම හොඳම ක්‍රීඩකයා තෝරාපත් කරගැනීම සඳහා සංවිධානය කරනු ලැබීය.

තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම සමත් වූ අතර පිළිවෙලින් තරඟාවලියේ දෙවන සහ තෙවන ස්ථාන 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට සහ 7 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.

 

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්‍රල් පි.පි.ඩි හපුතන්ත්‍රී තේරීපත්වූ අතර 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩී.එම්.ජේ අජිත් කුමාර දෙවන ස්ථානය හිමිකරගත්හ. තෙවන ස්ථානය හිමිකරගැනීමට 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඩී. ලක්මාල් සමත්විය. එහිදි කෝප්‍රල් හපුතන්ත්‍රී කිලෝමීටර 3.2 ක දුරක් දිවීමේ තරඟය මිනිත්තු 11 තත්පර 24 ක් තුල නිමා කල අතර, pull-ups 34 ක්, sit-ups 972 ක්, push-ups 443 ක් සහ සංග්‍රමික කාර්යක්‍ෂමතා පරික්ෂණය (Combat Efficiency Test) තත්පර 69 ක් කාලයක් තුල සාර්ථකව නිමා කර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

මයිලඩි වෙඩි පිටියේ දී පැවැති මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mysneakers | Nike