Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2016 22:14:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන පණිවුඩය

අප මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂික කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය වෙනුවෙන් හදපිරි සතුටින් යුතුව මාගේ සුභාෂිංසන එක් කරමි.

ගෙවීගිය 67 වසරක කාලය පුරාවට, රටට එල්ල වු විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාව මෙන්ම ජනජීවිතවල සුරක්ෂිතතාව වෙනුවෙනුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලැබූ සේවාව අතිමහත්ය. එහිදි ජීවිත පරිත්‍යාගයෙන් යුතුව නොපැකිළව ඔවුන් විසින් සිදුකරන ලද පුරෝගාමී මෙහෙවර හේතුවෙන් අද වන විට රට තුල පවතින තිරසාර සාමය හා සෞභාග්‍ය උදාකරගත හැකි විය. එමෙන්ම, රට තුළ විවිධ අවස්ථාවන්හිදී ඇතිවන හසිදි ආපදා සහ ස්වාභාවික ව්‍යසනවලදී කඩිනම් සහන සේවා සපයමින් සාමාන්‍ය ජන ජීවිත යථා තත්වයට පත්කිරීම සඳහාද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වන්නා වූ අපමාණ කැපවීම මා මෙහිදී ප්‍රථමයෙන් සිහිපත් කළ යුතුයි.

එවැනි වූ සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීම උදෙසා, ජීවිත කැප කොට, රණක්ෂිතයට පත්වෙමින්, තම ශ්‍රමය හා කාලය කැපකරමින්, මව්බිම වෙනුවෙන් සිය යුතුකම් සෘජුවම ඉටුකළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන් වෙත මාගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිමි. එමෙන්ම, අඩ සියවසකටත් වඩා වූ අභිමානවත් යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට එහි අභිවෘද්ධිය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ, සියලුම යුද්ධ හමුදාධිපතිවරුන් හා සියලුම නිලධාරීන් මෙන්ම, සෙසුනිලයින්ද, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන් හා ඔවුන් සියලුදෙනාගේම පවුල්වල සාමාජිකයන් ද මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥතාපූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමන්මග සඳහා දූරදර්ශී නායකත්වය සපයන සහ මගපෙන්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් මෙන්ම, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිඳුන් සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිඳුන්වද, 2016 වර්ෂයේ යුද්ධ හමුදා දිනය සමරන මෙම සුවිශේෂි මොහොතේදී හදපිරි ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

ක්‍රියාන්විතයේදී අප ලද ජයග්‍රහණය, ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක් වූ, අනභිභවනීය මතක සටහනක් වන අතර, එම ජයග්‍රහණය අත්පත්කර ගැනීම උදෙසා ඇප කැප වී ක්‍රියා කළ අප සියලුදෙනා හට, එය ඉතා අභිමානයෙන් යුතුව සිහිපත් කළ හැකි කරුණකි. එමගින් ලද පුළුල් අත්දැකීම් හා දැනුම් සම්භාරය, හුදෙක් අප හට පමණක් නොව, සමස්ත ගෝලීය යුද්ධ හමුදාවන්ටම ඉමහත් වැදගත්කමකින් යුක්ත වෙයි. එබැවින් අතීතයෙන් ලද අත්දැකීම් ඔස්සේ අපගේ වත්මන් දැක්ම කේන්ද්‍රගත විය යුත්තේ සංස්කෘතිකමය වශයෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගයෙන් යුතුව ජීවත්විය හැකි සංවේදී පරපුරක් බිහිකරලීමේ භාරදූර කාර්යභාරය වෙතය.

එසේම, අප දිනා ගත් නිදහසේ සදාතනික වටිනාකම මතු පරපුර උදෙසාද උරුම කරදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප වෙත සුවිශාල වගකීමක් පැවරී තිබේ. එහිදී අප, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කරමින්, තිරසාර සාමය හා ජාතික සංවර්ධන ව්‍යාපෘතිය වෙත මේ වන විට සෘජුවම දායක වෙමින් සිටී. එම කාර්ය භාරය ඉදිරියටත් සාර්ථකව සිදුකිරීමෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු වෘත්තීයමය හා ඕනෑම අභියෝගයක් වෙත සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මුළුමහත් ලෝකය ඉදිරියේ තවදුරටත් ප්‍රකට කළ හැකි වනු ඇත.

එම කාර්යභාරයේදී අප විසින් සෑමවිටම උසස් විනයක් පවත්වා ගනිමින්, වෘත්තීයමය යුද්ධ හමුදාවක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් අද වන විට අපගේ මුලික අවධානය යොමුවී ඇත්තේ දැනුමින් හා කුසලතාවන්ගෙන් පිරිපුන් වෘත්තීයමය යුද්ධ හමුදාවක් බිහිකරලීමේ කාර්ය සඳහාය. ඒ වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කාලීන වශයෙන් ඉටු කරමින් සිටින අප, ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාසල් ඇති කරමින්, නව පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින්, දේශීය මෙන්ම විදේශීය පාඨමාලා හැදෑරීමටද යුද්ධ හමුදා සාමාජිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග ඇසුරින් ලබන පන්නරය තුළින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා වැඩි දායකත්වයක් සැපයීමටත්, එතුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අද වන විට ජාත්‍යන්තරය තුළ පවතින පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කරනු ලැබේ.

එසේම, ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කොට, රණක්ෂිතයට පත්වු සියලුම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මූලික කොට ගෙන සමස්ත යුද්ධ හමුදාවේම දැනට පවතින සුභසාධන කටයුතු තවදුරටත් දියුණු කළ යුතුව ඇත. මේ වනවිටත් ඔබ සෑම භුක්තිවිඳිමින් සිටින සියලු සුභසාධන ව්‍යාපාති මෙන්ම නව ව්‍යාපෘති ද වඩ වඩාත් සාර්ථකව හා ගුණාත්මකව ඔබ වෙත සමීප කරවමින්, සියලුම රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතා, වෛද්‍ය පහසුකම්, අධ්‍යාපන හා වෘත්තීයමය අවශ්‍යතා ඉදිරි කාලය තුළදී කඩිනමිව සපුරාලීමට අපේක්ෂිතය.

අවසාන වශයෙන් මාතෘ භූමියේ තිරසාර සාමය වෙනුවෙන්, ජීවිත පූජා කොට, තම යුතුකම් ඉටු කළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින අතර, ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත් සෞභාග්‍යය, වාසනාව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

එසේම, ක්‍රියාන්විතයේදී රණක්ෂිතයට පත්ව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රණවිරුවන් ප්‍රමුඛ සියලුදෙනාටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටින අතර, දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා විවිධ ක්ෂේත්‍ර තුලින් අනඟි මෙහෙවරක් ඉටු කරන සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන් වෙතත් ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත් දීර්ඝායුෂ, සාමය, සෞභාග්‍යය හා සතුට නොඅඩුවම ලැබේවායි පතමි.

හැටහත් වසරක සාඩම්බර උරුමයකට හිමිකම් කියන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, දැනුමින් හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ, විනයගරුක හා වෘත්තීයමය වශයෙන් ඉහළ තත්වයකට පත්කොට, ඉදිරියටත් පවත්වාගෙන යෑම, අප සියලු දෙනාගේම පොදු වගකීම වන බව, යළි යළිත් අවධාරණය කරන අතර, ඒ සඳහා අවැසි ශක්තිය සහ ධෛර්යය නිරතුරුවම ඔබ සැම වෙත ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

best Running shoes brand | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals