Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2018 12:06:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාලී දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යයි

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ආරක්ෂක භට පිරිස් දායක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අප්‍රිකානු මහද්වීපයේ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මේ වන විටත් පිටත් කර ඇති අතර, 32 කින් යුත් එහි අවසන් භට කණ්ඩය බදාදා (10) දින සන්ධ්‍යාවරුවේ දී ආශිර්වාද සුභපැතුම් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව යන ලදී.

සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන භට පිරිස් වෙත සුභපැතිම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙ‍නෙකු ද කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි සිටි අතර, අඟහරුවාදා (9) දින සන්ධ්‍යාවේදි මෙවැනිම තවත් කණ්ඩායමක් ද මාලි බලා දිවයිනෙන් පිටත්විය. තවද, 2017 නත්තල් උදාවට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් 150 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සාමසාධක රාජකාරි සඳහා මාලි දේශය බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.

මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා මෙසේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් දිවයිනේන් පිටත්වීමට පෙර පසුගිය දෙසැම්බර් මස අවසන් සතියේ දී, එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලැබූ අනුමැතියට අනුකූලව යුද්ධ හමුදාධිපතිතුමන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ බලධාරීන් හා සම්බන්ධිකරණයෙන් එම භට පිරිස් වෙනුවෙන් භට කාර්ය සම්පාදන අවශ්‍යතාවයන් සියල්ල ගුවනින් සහ මුහුදෙන් මාලි දේශය බලා පිටත් කර හැර තිබුණි.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා භට පිරිස් හි දායකත්වය සපයන රටක් ලෙස මේවන විට කීර්තියක් ලබා ඇති ශ්‍රී ලංකාව, වාර්ගික අර්බුදවලින් ග්‍රහණ බටහිර අප්‍රිකානු මහද්වීපයේ ගොඩබිමෙන් වට වූ මාලී දේශය වෙත මෙසේ සාම සාධක රාජකාරින් සඳහා 200 දෙනෙකුගෙන් සමන්විත නව සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් පිටත් කර හරිමින් දේශයේ කීර්තිය තවදුරටත් ඉහළ නංවා ඇත.

එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ප්තියේ 7 වන පරිච්ඡේදයේ සලසා ඇති නියමයන්ට අනුව මාලි දේශයේ සාමය බලාත්මක කිරිමේ එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙයුම් සඳහා මෙම භඨ පිරිස දෙසැම්බර් මස මුලදි අවුරුද්දක කාලසීමාවක් සඳහා මාලි දේශය බලා පිටත්ව යන ලදී.

මෙම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් කලණ අමුණුපුරෙ ද මේජර් හසන්ත හෙන්නැදි දෙවන අණදෙන නිලධාරි වශයෙන් ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම එක්සත් ජාතින්ගේ සාම හමුදා භඨ කණ්ඩයට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, ඉංජිනේරු සේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයින් සහ 1 වන කාණ්ඩයේ රෝහලක් සමගින් නිළධාරින් 16 ක් හා සෙසුනිළයින් 184 ක භඨ පිරිසකින් සමන්විතය.

2013 අප්‍රේල් 25 දින ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ 2100 වන යෝජනාව මගින් මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) පිහිටවනු ලැබූ අතර, එරට දේශපාලන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට අවශ්‍ය ආරක්ෂක හමුදා රාජකාරි කටයුතු ඉටු කිරීමට එම මූලස්ථානය ස්ථාපිත කර තිබේ. ඒ අනුව, මාලි දේශයේ සංක්‍රාන්ති ආණ්ඩු බලධාරින්ට රටෙහි ස්ථායිභාවය තහවුරු කරලීමෙහිලා ආධාර කිරීමටත් එක්සත් ජාතින්ගේ පශ්චාත් යුද සංක්‍රාන්ති ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතින්ගේ මිනුස්මා සාම මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරිච්ඡේද 6 හරහා ලබාදී ඇති ඉඩ ප්‍රස්ථා අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්කර හරින ලද ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ පලමු භඨ පිරිස 2004 ඔක්තෝබර් 22 දින හයිටි දේශයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු භඨ පිරිස් එම කණ්ඩායමට ඇතුලත් විය. එසේ වුවද, මීට ප්‍රථම ශ්‍රි ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සේවය සඳහා තනි පුද්ගල අනුයුක්ත කිරීම් වශයෙන් හමුදා සාමාජිකයින්ගේ සේවය ලබා දී ඇත.

මේ දක්වා ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 17,000 කට අධික සංඛ්‍යාවක් යුධ නිරික්ෂකයින් (156), මාණ්ඩලික නිලධාරින් (150) හා මාණ්ඩලික නිළධාරි සහායකයින් (04) ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදි ඇත.

1955 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමෙන් අනතුරුව අප්‍රිකානු මහාද්වීපයේ කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයේ 1960 ආරම්භ වී 1962 අවසන් වූ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා දකුණු අප්‍රිකාව දක්වා පිටත් කරන ලද හමුදාව අතර, යුද්ධ හමුදා සාමාජිකයින් සුළු පිරිසක් සේවය කර තිබේ.

වර්තමානයේදී ශ්‍රි ලංකා භඨ පිරිස් ලෝකයේ විවිධ ප්‍රදේශ වල එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරත ව සිටින අතර, එක්සත් ජාතින්ගේ අන්තර් හමුදාවේ නිලධාරින් 10 ක් හා සෙසුනිළයින් 140 ක්ද, දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ හමුදාවේ නිලධාරින් 16 ක් හා සෙසුනිළයින් 50 ක්ද, (දකුණු සුඩානයේ 2 වන කාණ්ඩයේ රෝහලේ සේවය කරන පිරිස සමගින්) එක්සත් ජාතින්ගේ මාලි දේශයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරිමේ මෙහෙයුමේ නිලධාරින් 02 ක් හා සෙසුනිළයින් 63 ක්ද වශයෙන් එම පිරිසට අයත් වේ.

මීට අමතරව, එක්සත් ජාතින්ගේ බටහිර සහරා හමුදා මෙහෙයුමේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරින් 02 ක් ඇතුළුව නිලධාරින් 18 දෙනෙකුද, කොන්ගෝ දේශයේ එක්සත් ජාතින්ගේ මෙහෙයුමේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙම නිලධාරින් හමුදා නිරික්ෂකයින් වශයෙන් රාජකාරි කරනු ලබයි. එසේම ලෙබනන්, අබේ, නිව්යෝක්, දකුණු සුඩානයේ, මධ්‍යම අප්‍රිකාවේ, මාලි දේශයේ සහ බටහිර සහාරාවේ යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු එක්සත් ජාතින්ගේ මාණ්ඩලික නිලධාරින් වශයෙන් රාජකාරි කටයුතු ඉටුකරනු ලබයි.

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා භඨපිරිස් වැඩි සංඛ්‍යාවක් ලබාදෙන රටවල් වලින් එකක් ලෙස වර්තමානයේදී ශ්‍රි ලංකාව සැලකේ. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාම සාධක හමුදා සාමාජිකයින් වූ ලාන්ස් කෝප්‍රල් ජේ.බි.ඒ.ජේ. ජයසිංහ (2005), ලාන්ස් කෝප්‍රල් එච්.එම්. විජේසිංහ (2005) සහ ලාන්ස් කෝප්‍රල් ඒ. ජයන්ත (2007) ඔවුන්ගේ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් ඉටුකරමින් සිටියදී දිවි පිදූ අතර, එක්සත් ජාතින්ගේ ඩැග් හැමර්ෂල් පදක්කම ඔවුනට ගෞරව වශයෙන් හිමි ගන්වා ඇත.

ශ්‍රී ලංකාව අද වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන විශේෂ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් භඨපිරිස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා භඨ පිරිස් ලබාදෙමින් සක්‍රීය දායකත්වයක් ඉටුකරයි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පසුගිය දෙසැම්බර් 20 වන දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලැබුණු මෙම අවස්ථාව අප හමුදාව පිළිබඳව ලෝකයේ ඇති පිලිගැනුමත් ලෝක සාමය වෙනුවෙන් සිදු කරන කැපවීමත් මානව පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බව පැවසිය.

යුද්ධ හමුදාධිපතිතුමන් භට පිරිස් අමතමින්, “මා ඉපදීමටත් ප්‍රථම කාලයක සිට, එනම් 1960 වර්ෂයේ සිට අප හමුදාවන් විදේශයන්හි නොයෙකුත් රාජකාරි ඉටුකර ඇති බවත් 17000 ක යුද්ධ හමුදා සාමාජිකයින් සාම සාධක මෙහෙයුම් රාජකාරින් හිද 300 කට ආසන්න පිරිසක් , යුද නිරික්ෂකයින් හා මාණ්ඩලික නිලධාරින් ලෙසද අද දක්වා ලොව පුරා සාමය ඇතිකිරිමේ අරමුණින් එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරතව ඇති බවත් අනාගතයේ අප හමුදා සාමාජිකයින් මාලි දේශය ඇතුළුව අනෙකුත් විදේශ රටවලද සාම සාධක රාජකාරින් ඉටුකිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති වන බවත් සඳහන් කලේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමයභාවයත්, ගෞරවයත් රැකගනීමින් දැඩි හික්මීමෙන් හා විනයගරුකව එම සාම සාධක රාජකාරි කටයුතු ඉටු කරනු ඇතැයි මා අපේක්ෂා කරන බවත්.” වැඩිදුරටත් පැවසිය.

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් හී නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාත්මකව ඉහල නැංවිමටත් අපේක්ෂා කරන බවත් එමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ද ජාත්‍යන්තර මට්ටමෙන් වගකිම් භාරගෙන රාජකාරි ඉටුකිරීමේ ඇති හැකියාව ලොවට පෙන්වීමට අපේක්ෂා කරන බවත් යුද්ධ හමුදාධිපති තවදුරටත් පැවසීය. මාලි දේශයේ ඉටු කෙරෙන රාජකාරින් පුද්ගල අභිමතාර්ථ අපේක්ෂාවෙන් නොවන අතර, එය ශ්‍රී ලාංකීය දේශයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් බවත් මෙවන් වු ජාත්‍යන්තර සාම සාධක කටයුතු වල නිරතවීම් හරහා ශ්‍රී ලාංකීය යුද්ධ හමුදාවේ වෘත්තිමය නිපුණත්වය ජාත්‍යන්තර තලය දක්වා එමගින් රැගෙන යන බවත් වැඩිදුරටත් යුද්ධ හමුදාධිපති අවධාරණය කරන ලදී.

ජනවාර්ගික වෙනස්කම් නොසලකිමින් අප හමුදා සෙබළුන්ගේ විවිධත්වය සැලකිල්ලට ගනීමින් මා විසින් හඳුන්වාදුන් ‘රට රකින ජාතිය (RRJ) ’ සංකල්පය තුලින් යුද හමුදා සාමාජිකයා සමාජය තුල විශේෂ ප්‍රජාවක් ලෙස හඳුනාගත හැකි බැව් ද අවධාරණය කරන ලදී. මෙම වර්ෂයේ පසුගිය ජුලි මස දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාධිපති ධූරයට පත්විමත් සමඟ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදා භඨ පිරිසක් පිටත් කර හැරීම කඩිනම් කිරීමට සාකච්ඡා වාර ගණනාවක නිරත වූ අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භට කණ්ඩායම්හි අනුයුක්ත ශ්‍රී ලංකා භඨ පිරිස් ප්‍රමාණය අනාගතයේදී සංඛ්‍යාත්මකව බලසේනාවක ප්‍රමාණය දක්වා ඉහළ නංවා ගැනිමට අවශ්‍ය කටයුතු ද යුද්ධ හමුදාධිපතිවරයා විසින් මේ වනවිට විමර්ශනය ලක් කොට ඇත.

එසේ මාලි දේශය බලා පිටත්ව යන යුද්ධ හමුදා භට කණ්ඩය 2017 නොවැම්බර් මස 30 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි වූහ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය වෙනුවෙන් අවශ්‍ය නවාතැන්, වැසිකිළි පහසුකම්, ගබඩා සහ වෙනත් ඉදිකිරීම් අවශ්‍යතාවයන් ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් මාලි දේශයට ගොස් සම්පුර්ණ කරන ලදී.

පුරා මාස 6 කට වැඩි කාලයක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ බහුවිධ සංයුක්ත සාමසාධක රාජකාරින් මෙහෙයුම් හී ඉදිකිරීම් සේවා රාජකාරි කටයුතු ඉටුකල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෙසුනිලයින් 53 දෙනෙකු සිය රාජකාරි සාර්ථකව නිමාකොට පසුගිය දෙසැම්බර් මස 05 වන දින දිවයිනට පැමිණියහ.

jordan release date | シューズ