Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2017 14:27:13 Hours

වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 68 වන සංවත්සරය සමරයි

ජාතිය සුරැකීමේ අභිමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 68 වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් අඟහරුවාදා (10) දින උදෑසන පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස අවසන් සතියෙහි සිට වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබු අතර, අද දින සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා ධජය ඔසවමින් හමුදා දින සැමරුම් වැඩසටහන ආරම්භ විය.

එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් යුද්ධ හමුදාධිපතිතුමා පිළිගත් අතර, අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව, සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරි යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමා වෙත ආරාධනා කරන ලදී. අභිමානවත් යුද්ධ හමුදා ධජය අහස් කුසේ ලෙළ දෙද්දී ‘සාගරයෙන් වට - මේ මගේ මව් රට...රකිමු සදා’ යන හමුදා ගීතය ගායනා කිරීමට සියලු දෙනා එක්වුහ. එය යුද්ධ හමුදාවේ ප්‍රෞඪත්වය, අභිමානය සැම සිත්තුල ජනිත කර වු එක් මොහොතක් විය. මෙහි දී යුද්ධ හමුදාපතිතුමා සම්මාන ආචාර පෙළපාලිය පිළිගැනිමට ප්‍රථම, මව්බිමේ සාමය උදෙසා අභිතව සටන් වැද දිවි කැප කළ සහ අතුරුදහන් වූ සියළුම අභීත රණවිරුවන් සිහිපත් කොට ඔවුන් කළ කැප කිරීමට කෘතගුණ දක්වනු වස් සියලු දෙනා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීය.

අනතුරුව, හමුදා ආචාරය පිළිගත් යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරි යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් පවත්වන ලද පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී.

පෙළපාලියේ දේශාභිමානී ගීතයන් සරඹ භූමිය පුරා රැව්පිළිරැව් දෙමින් රෙජිමේන්තු වර්ණ ප්‍රදර්ශනය කරමින් රෙජිමේන්තු ධජයන් රැගෙන තම අභිමානය මනාව ප්‍රදර්ශනය කරමින් යුද්ධ හමුදාපතිතුමා වෙත ඉදිරිපත් කළ සම්මාන පෙළපාලිය, එය නැරඹීමට පැමිණි සියලුදෙනාගේම අවධානයට ලක්විය.

මෙහිදි, තවත් සුවිශේෂි සිදුවීමක් ලෙස 2017 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ පිරිමි සහ කාන්තා හොඳම සරඹ කණ්ඩායම්, හොඳම කණ්ඩ අණදෙන නිලධාරින් සහ හොඳම තුර්යවාදක කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම ද සිදු කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු සරඹ සහ තුර්යවාදක කණ්ඩායම් තරඟාවලිය - 2017 හී සරඹ තරඟාවලියේ පළමු ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම හිමි කරගත් අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සහ ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම් වලට හිමිවිය.

තුර්ය වාදක කණ්ඩායම් තරඟාවලියේ පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට හිමි වු අතර, පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට හිමි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බළලත් නිලධාරි - I කේ. පී. වෛද්‍යතිලක දක්ෂතම තුර්යවාදකයා ලෙසත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කපිතන් ඒ.කේ.කේ. පෙරේරා හොඳම කාන්තා කණ්ඩ අණදෙන නිලධාරිණිය ලෙසත්, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතන් කේ.එච්.එල්.පී. කරුණාරත්න හොඳම කණ්ඩ අණදෙන නිලධාරි ලෙසත්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මාණ්ඩලික සැරයන් ඩි.එම්.එස්. දිසානායක හොඳම සරඹ උපදේශකයා ලෙසත් මෙහිදි ජය සංකේත හිමි කරගත්හ.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 68 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය පණිවිඩය ඉදිරිපත් කරමින් භට පිරිස් හී කැපවීම ඇගයිමට ලක්කල අතර, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරමින් හා විනය ඉතා ඉහල මට්ටමක පවත්වා ගනීමින් රට ආරක්ෂා කිරීමේ වගකීම අප සතු බවත් රටතුල ස්ථීරසාර සාමය සහ සංහිදියාව ඇතිකිරීමෙහිලා අපගේ දැඩි කැපවීම සහ උත්සහය ද වැදගත්වන බවත් සඳහන් කර සිටියේය. තවද යුද්ධ හමුදා පුහුණු ආයතනයන් හී පහසුකම් තවදුරටත් ඉහල නංවා ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒමත් යුද්ධ හමුදා සුභසාධන කටයුතු තවදුරටත් වැඩි කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ට වැඩි සහන සැලසිමට අපේක්ෂා කරන බවත් පැවසීය. එමෙන්ම, ඉහල මානසික ඒකාග්‍රතාවයකින් යුතුව වඩා ක්‍රියාශිලිව අපගේ හමුදා රාජකාරින් ඉතා ඉහළ ප්‍රමිතියකින් ඉටු කල යුතුව ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කතාවේ දී අවධාරණය කරන ලදී.

ප්‍රධාන උත්සව අවස්ථාව අවසානයේ දී පැවති තේ පැන් සංග්‍රහය අතරතුර දී එම අවස්ථාවට සපැමිණි විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අනෙකුත් ආරාධිතයින් සමඟ කතාබහ කිරීමට ද එහිදි යුද්ධ හමුදාපතිතුමා අමතක නොකළහ.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාපතිවරු, විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද එක් ව සිටියහ.

ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පසුගිය සැප්තැම්බර් මස අවසන් සතියේ සිට යුද්ධ හමුදා 68 වන සංවත්සරය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථා‍නය, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය, කොටහේන ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් හින්දු කෝවිල, කිරිවෙහෙර, කතරගම දේවාලය සහ පනාගෙඩ බෝධිරාජාරාමයේ දීත් ආගමික ආශිර්වාදයන් ලබා ගනිමින් විවිධ වැඩසටහන් පැවැත්වු අතර, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අද (10) දින සන්ධ්‍යාවේ අනුස්මරණ උත්සවයක් ද පැවැත් වේ. එමෙන්ම, 68 වන සංවත්සර වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් බදාදා (11) දින සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

(යුද හමුදාපතිතුමා විසින් සිදු කරන ලද සම්පුර්ණ කථාව උණුසුම් පුවත් හි පළකර ඇත)

Adidas footwear | Women's Designer Sneakers - Luxury Shopping