Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2016 11:46:08 Hours

වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද හමුදාව සිය අභිමානවත් 67 වන සංවත්සරය සමරයි

ජාතිය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවරේ යෙදෙමින් ජාතියේ අභිමානය සුරකිමින් ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමයේ නිරතව සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 67වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් සඳුදා (10) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපද භූමියේ දී පවත්වන ලදි.

අද දිනට යෙදී තිබුන සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස අවසන් සතියෙහි සිට වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. අද දින පැවැත්වෙන සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, මඟුල් බෙර හඬ මධ්‍යයේ යුද හමුදා ධජට ඔසවමින් එදින වැඩසටහන ආරම්භ විය.

එහිදි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විසින් යුද හමුදාපතිතුමා පිළිගත් අතර, අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

එහිදී සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියේ ආචාරය ලබා ගැනීම සඳහා යුද හමුදාපතිතුමා වෙත ආරාධනා කරන ලදී. අභිමානවත් යුද හමුදා ධජය අහස් කුසේ ලෙළ දෙද්දී ‘සාගරයෙන් වට - මේ මගේ මව් රට...රකිමු සදා’ යන හමුදා ගීතය ගායනා කිරීමට සියලු දෙනා එක්වුහ. එය යුද හමුදාවේ ප්‍රෞඪත්වය, අභිමානය සැම සිත්තුල ජනිත කර වු එක් මොහොතක් විය. මෙහි දී යුද හමුදාපතිතුමා උත්සව සභාව ඇමතීමට ප්‍රථම, මව්බිමේ සාමය උදෙසා අභිතව සටන් වැද දිවි කැප කළ සහ අතුරුදහන් වූ සියළුම අභීත රණවිරුවන් සිහිපත් කොට ඔවුන් කළ කැප කිරීමට කෘතගුණ දක්වනු වස් සියලු දෙනා විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරැකීය.

හමුදා ආචාර පිරිනැමීමෙන් අනතුරුව පෙළපාලියේ අණදෙන්නා විසින් යුද හමුදාපතිතුමන් හා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත සමගින්, රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් පවත්වන ලද පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී.

පෙළපාලියේ දේශාභිමානී ගීතයන් සරඹ භූමිය පුරා රැව්පිළිරැව් දෙමින් රෙජිමේන්තු වර්ණ ප්‍රදර්ශනය කරමින් රෙජිමේන්තු ධජයන් රැගෙන තම අභිමානය මනාව ප්‍රදර්ශනය කරමින් යුද හමුදාපතිතුමා වෙත ඉදිරිපත් කළ සම්මාන පෙළපාලිය, එය නැරඹීමට පැමිණි සියලුදෙනාගේම අවධානයට ලක්විය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් 67 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරන ලද පණිවිඩය ඉදිරිපත් කළ අතර, එහිදී භට පිරිස් හි කැපවීම ඇගයීමට ද ලක් කලහ. (යුද හමුදාපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කථාව උණුසුම් පුවත් හි පළකර ඇත)

ප්‍රධාන උත්සව අවස්ථාව අවසානයේ දී පැවති තේ පැන් සංග්‍රහය අතරතුර දී එම අවස්ථාවට සපැමිණි විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අනෙකුත් ආරාධිතයින් සමඟ කතාබහ කිරීමට ද එහිදි යුද හමුදාපතිතුමා අමතක නොකළහ.

මෙම අවස්ථාවට හිටපු යුද හමුදාපතිවරු, විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද එක් ව සිටියහ.

ඉන් අනතුරුව යුද හමුදාපතිතුමා සමඟ නයනා ද සිල්වා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශය වෙනුවෙන් යුද වැදී පූර්ණ ආබාධිත තත්වයට පත් වු රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමට ද පිටත් වූහ.

එහි දී යුද හමුදාපතිතුමා ඇතුළු අමුත්තන් විසින් රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ කතාබහා කරමින් ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදි.

ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පසුගිය සැප්තැම්බර් මස අවසන් සතියේ සිට යුද හමුදා 67 වන සංවත්සරය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, කිරිවෙහෙර, කතරගම දේවාලය, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථා‍නය, ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් හින්දු කෝවිල සහ පනාගෙඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දීත් ආගමික ආශිර්වාදයන් ලබා ගනිමින් විවිධ වැඩසටහන් පැවැත්වීය. එමෙන්ම 67 වන සංවත්සර වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් අඟහරුවාදා (11) දින සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

Running Sneakers | jordan Release Dates