Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2016 17:29:11 Hours

ලෝක ප්‍රකට ශ්‍රී ලංකා යුද හමුදාවට අදට වසර 67 ක් සපිරේ

අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව සඳුදා (ඔක්: 10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.

ක්‍රි:ව: 1949 දී ‘ලංකා යුද හමුදාව’ (සිලෝන් ආමි) ලෙස ස්ථාපිතව අනතුරුව ක්‍රි:ව: 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස වෙනස් වූ අප යුද හමුදාව මේ වන විට වසර 67 ක කාලයක් තුල අසමසම නොඇසුවිරූ වාර්තාවන් රැසක් තබමින් සමකාලින යුද හමුදා ඉතිහාසයේ සංධිස්ථානයකට පත්ව සිටි.

2009 වසරේ මැයි මස දරුණු ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝක ප්‍රකට තත්වයට පත් වූ යුද හමුදාවේ 25,000 කට අධික රණවිරුවන් පිරිසක් දේශය වෙනුවෙන් දිවි පිදූ අතර, යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123 ක් ද එහිදි දිවි පිදුහ. එමෙන්ම, දශක තුනක දීර්ඝකාලීන මෙම ගැටුමේ දී රණවිරුවන් 82,337 ක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 38 ක් ද ආබාධිත තත්වයට පත් වුහ. මීට අමතරව යුද හමුදාවේ 3425 ක් වූ රණවිරුවන් පිරිසක් අතුරුදන් වූහ.

වඩාත්ම දරුණුතම ත්‍රස්තවාදය තුරන්කර සාමය නැවත ස්ථාපිත කළ ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය මුළුමහත් ලෝකය පුදුමයට පත් කරවන්නකි. එහිදි ලෝව පවතින සමකාලීන හමුදාවන් අතුරින් දේශයෙන් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමු ලොව එකම හමුදාව අප හමුදාව වේ.

යුද්ධයේ බලපෑමට ලක් වූ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පමණක් නොව දිවයිනේ අස්සක් මුල්ලක් නෑර සිය ප්‍රජා සත්කාරක සේවාවන් සපයමින් රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් දේශයේ සංවර්ධනයට උර දෙමින් යුද හමුදාව ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරති.

හමුදා ඉතිහාසයේ වෙනත් කිසිදු හමුදාවකට නොදෙවෙනි ලෙස අප යුද හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පැරදවීමට සිය සහෝදර සේවා සමඟින් එක්ව ඉමහත් වගකීමකින් ක්‍රියා කරනු ලැබීය.

යුද හමුදා දින සැමරම් පෙළපාලිය සඳුදා (10) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලබන අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත විශේෂ සම්මාන පෙලපාලියක් පිරිනැමිමට ද නියමිතය.

අද වන විට යුද හමුදාව, රටේ සංවර්ධන කාර්යයන්ට සෘජූවම උරදෙන සංවිධානයක් බවට පත්ව ඇත. ඒ අනුව විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අවශ්‍යතාවයන් මත යුද හමුදා ඉංජිනේරු සේවාවන්, ප්‍රජාසේවා, ඉදිකිරිම් ක්ෂේත්‍ර, ජාතික ආපදා, ඩෙංගු මර්ධන වැඩසටහන්, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදි බොහෝ ක්ෂේත්‍රයන් තුලින් සිය කාර්ය භාරය ඉටු කරනු ලැබේ.

තවද ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ හිමි කරගෙන ඇති අතර, මෑතකදී පැවති පැරාලිම්පික් ඇතුළු බොහෝ ජාත්‍යන්තර තරඟ වල දී දැක් වූ දස්කම් තුලින් ඒ බව පැහැදිලි වේ. එමෙන්ම ජාතික ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන් රටේ ප්‍රධානතම ආයතනයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව පත්ව ඇත.

මනුෂ්‍යත්වය, විනය, වෘත්තීය හා විශ්වාසවන්තභාවය හමුවේ පෙරමුණේ සිටින අප යුද හමුදාව එය ලොවට ප්‍රදර්ශනය කළ බව 67 වන සංවත්සර පණිවිඩය නිකුත් කරමින් යුද හමුදාපතිතුමා පැවසීය. මෙම ගුණාංග හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ලොව සුප්‍රකට තත්වයට පත්වී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසුහ.

67 වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදාපතිතුමා නිකුත් කරන පණිවිඩය පහත දැක්වේ;

අප මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂික කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය වෙනුවෙන් හදපිරි සතුටින් යුතුව මාගේ සුභාෂිංසන එක් කරමි.

ගෙවීගිය 67 වසරක කාලය පුරාවට, රටට එල්ල වු විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාව මෙන්ම ජනජීවිතවල සුරක්ෂිතතාව වෙනුවෙනුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලැබූ සේවාව අතිමහත්ය. එහිදි ජීවිත පරිත්‍යාගයෙන් යුතුව නොපැකිළව ඔවුන් විසින් සිදුකරන ලද පුරෝගාමී මෙහෙවර හේතුවෙන් අද වන විට රට තුල පවතින තිරසාර සාමය හා සෞභාග්‍ය උදාකරගත හැකි විය. එමෙන්ම, රට තුළ විවිධ අවස්ථාවන්හිදී ඇතිවන හසිදි ආපදා සහ ස්වාභාවික ව්‍යසනවලදී කඩිනම් සහන සේවා සපයමින් සාමාන්‍ය ජන ජීවිත යථා තත්වයට පත්කිරීම සඳහාද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වන්නා වූ අපමාණ කැපවීම මා මෙහිදී ප්‍රථමයෙන් සිහිපත් කළ යුතුයි.

එවැනි වූ සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීම උදෙසා, ජීවිත කැප කොට, රණක්ෂිතයට පත්වෙමින්, තම ශ්‍රමය හා කාලය කැපකරමින්, මව්බිම වෙනුවෙන් සිය යුතුකම් සෘජුවම ඉටුකළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන් වෙත මාගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිමි. එමෙන්ම, අඩ සියවසකටත් වඩා වූ අභිමානවත් යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට එහි අභිවෘද්ධිය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ, සියලුම යුද්ධ හමුදාධිපතිවරුන් හා සියලුම නිලධාරීන් මෙන්ම, සෙසුනිලයින්ද, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන් හා ඔවුන් සියලුදෙනාගේම පවුල්වල සාමාජිකයන් ද මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥතාපූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමන්මග සඳහා දූරදර්ශී නායකත්වය සපයන සහ මගපෙන්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් මෙන්ම, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිඳුන් සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිඳුන්වද, 2016 වර්ෂයේ යුද්ධ හමුදා දිනය සමරන මෙම සුවිශේෂි මොහොතේදී හදපිරි ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

ක්‍රියාන්විතයේදී අප ලද ජයග්‍රහණය, ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක් වූ, අනභිභවනීය මතක සටහනක් වන අතර, එම ජයග්‍රහණය අත්පත්කර ගැනීම උදෙසා ඇප කැප වී ක්‍රියා කළ අප සියලුදෙනා හට, එය ඉතා අභිමානයෙන් යුතුව සිහිපත් කළ හැකි කරුණකි. එමගින් ලද පුළුල් අත්දැකීම් හා දැනුම් සම්භාරය, හුදෙක් අප හට පමණක් නොව, සමස්ත ගෝලීය යුද්ධ හමුදාවන්ටම ඉමහත් වැදගත්කමකින් යුක්ත වෙයි. එබැවින් අතීතයෙන් ලද අත්දැකීම් ඔස්සේ අපගේ වත්මන් දැක්ම කේන්ද්‍රගත විය යුත්තේ සංස්කෘතිකමය වශයෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගයෙන් යුතුව ජීවත්විය හැකි සංවේදී පරපුරක් බිහිකරලීමේ භාරදූර කාර්යභාරය වෙතය.

එසේම, අප දිනා ගත් නිදහසේ සදාතනික වටිනාකම මතු පරපුර උදෙසාද උරුම කරදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප වෙත සුවිශාල වගකීමක් පැවරී තිබේ. එහිදී අප, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කරමින්, තිරසාර සාමය හා ජාතික සංවර්ධන ව්‍යාපෘතිය වෙත මේ වන විට සෘජුවම දායක වෙමින් සිටී. එම කාර්ය භාරය ඉදිරියටත් සාර්ථකව සිදුකිරීමෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු වෘත්තීයමය හා ඕනෑම අභියෝගයක් වෙත සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මුළුමහත් ලෝකය ඉදිරියේ තවදුරටත් ප්‍රකට කළ හැකි වනු ඇත.

එම කාර්යභාරයේදී අප විසින් සෑමවිටම උසස් විනයක් පවත්වා ගනිමින්, වෘත්තීයමය යුද්ධ හමුදාවක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් අද වන විට අපගේ මුලික අවධානය යොමුවී ඇත්තේ දැනුමින් හා කුසලතාවන්ගෙන් පිරිපුන් වෘත්තීයමය යුද්ධ හමුදාවක් බිහිකරලීමේ කාර්ය සඳහාය. ඒ වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කාලීන වශයෙන් ඉටු කරමින් සිටින අප, ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාසල් ඇති කරමින්, නව පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින්, දේශීය මෙන්ම විදේශීය පාඨමාලා හැදෑරීමටද යුද්ධ හමුදා සාමාජිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග ඇසුරින් ලබන පන්නරය තුළින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා වැඩි දායකත්වයක් සැපයීමටත්, එතුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අද වන විට ජාත්‍යන්තරය තුළ පවතින පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කරනු ලැබේ.

එසේම, ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කොට, රණක්ෂිතයට පත්වු සියලුම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මූලික කොට ගෙන සමස්ත යුද්ධ හමුදාවේම දැනට පවතින සුභසාධන කටයුතු තවදුරටත් දියුණු කළ යුතුව ඇත. මේ වනවිටත් ඔබ සෑම භුක්තිවිඳිමින් සිටින සියලු සුභසාධන ව්‍යාපාති මෙන්ම නව ව්‍යාපෘති ද වඩ වඩාත් සාර්ථකව හා ගුණාත්මකව ඔබ වෙත සමීප කරවමින්, සියලුම රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතා, වෛද්‍ය පහසුකම්, අධ්‍යාපන හා වෘත්තීයමය අවශ්‍යතා ඉදිරි කාලය තුළදී කඩිනමිව සපුරාලීමට අපේක්ෂිතය.

අවසාන වශයෙන් මාතෘ භූමියේ තිරසාර සාමය වෙනුවෙන්, ජීවිත පූජා කොට, තම යුතුකම් ඉටු කළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින අතර, ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත් සෞභාග්‍යය, වාසනාව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

එසේම, ක්‍රියාන්විතයේදී රණක්ෂිතයට පත්ව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රණවිරුවන් ප්‍රමුඛ සියලුදෙනාටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටින අතර, දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා විවිධ ක්ෂේත්‍ර තුලින් අනඟි මෙහෙවරක් ඉටු කරන සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන් වෙතත් ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත් දීර්ඝායුෂ, සාමය, සෞභාග්‍යය හා සතුට නොඅඩුවම ලැබේවායි පතමි.

හැටහත් වසරක සාඩම්බර උරුමයකට හිමිකම් කියන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, දැනුමින් හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ, විනයගරුක හා වෘත්තීයමය වශයෙන් ඉහළ තත්වයකට පත්කොට, ඉදිරියටත් පවත්වාගෙන යෑම, අප සියලු දෙනාගේම පොදු වගකීම වන බව, යළි යළිත් අවධාරණය කරන අතර, ඒ සඳහා අවැසි ශක්තිය සහ ධෛර්යය නිරතුරුවම ඔබ සැම වෙත ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

latest Running | Nike, adidas, Converse & More