Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2017 17:48:50 Hours

යුද්ධ හමුදාව හැරගිය අයවළුන්ට ලබාදුන් පොදුසමා කාලසීමාව ලබන 22 දින දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන්වීමට නියමිතව ඇත.

මෙම කාලසීමාව තුලදි නිළධාරින් 10 ක්, කෙඩෙට් නිළධාරින් 08 ක් සහ සෙසුනිලයින් 8034 ක් ඇතුළු හිටපු යුද්ධ හමුදා සාමාජිකයින් 8052 ක් ඔවුන්ගේ නීත්‍යානුකූල අස්කිරීම් කටයුතු සිදුකර ගැනීම සඳහා රපෝර්තු කර තිබේ.

එහෙත් විවිධ හේතුන් මත රපෝර්තු කිරීමට නොහැකිවු අයවළුන් ඔවුන්ගේ අස්වීම ලබාගැනීම සඳහා රපෝර්තු කිරීමට මෙම සහන කාලය දිර්ඝ කරදෙන ලෙසට කරන ලද ඉල්ලීම, ඔවුන් සේවයේ යෙදී සිටියදී ඉටුකරන ලද සේවය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති තුමන් වෙතින් ඉල්ලුම් කිරීමෙන් පසු ඒ සඳහා සතියක කාලයක් එනම් 2017 නොවැම්බර් මස 16 දින සිට 22 දින දක්වා දිර්ඝ කිරීම අනුමත කර ඇත.

ඒ අනුව නිවාඩු නොමැතිව රපෝර්තු නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට ඉදිරි සතිය තුලදි ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපෝර්තු කර නීත්‍යානුකූල අස්කිරීම් ලබාගැනීමට තවදුරටත් හැකියාව ඇත.

මෙම කාලසීමාව තුල නීත්‍යානුකූල අස්වීම ලබාගැනීමට කටයුතු නොකරන අයවළුන් 2017 නොවැම්බර් මස 23 දින සිට දීප ව්‍යාප්ථව සිදු කරනු ලබන වැටලීම් තුලින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබේ.

තවද, මෙම පොදුසමා කාලය ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ප්‍රකාශයට පත්කර ඇති බැවින්, නීත්‍යානුකූල අස්වීම ලබාගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කර උනන්දු කරවන ලෙසට ඥාතීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ග්‍රාම නිළධාරිවරුන්ගෙන් යුද්ධ හමුදාව ඉතා කාරුණිකව ඉල්ලා සිටි.

එමෙන්ම යුද්ධ හමුදාවෙන් පැනගොස් සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්ථා නොකර සිටින හමුදා සාමාජිකයින්හට රැකියා ඉඩ ප්‍රස්ථා සැලසීම සහ ඔවුනට රැකවරණය ලබාදීම දණ්ඩ නීති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ දඩුවම් ලැබීය හැකි වරදක් බැව්ද දන්වා සිටිනු ලැබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පොදු සමා කාලය 2017 ඔක්තෝබර් 23 දින සිට ප්‍රකාශයට පත් කරන ලද අතර, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපෝර්තු කර නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත. (නිමාව)

short url link | Nike Shoes, Sneakers & Accessories