Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2018 16:34:19 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුවර ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළුවලට සවන්දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත වූ අතර දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ අවධානය යොමු කෙරිණි.

ප්‍රථමයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාකච්ඡාවක් එම කාර්යාල පරිශ්‍රයේ දී පැවත්වූ අතර එහිදි ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක්වූ ව්‍යාපාරික ප්‍රජාවගේ අලාභහානි හා මුහුණදී ඇති ගැටළු පිළිබඳ කරුණු විමසනු ලැබීය. අනතුරුව, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවන් ඒකාබද්ධව තවත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ද ගැටළු පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ ගැටළුවලට පිළිතුරු දෙමින් පවසා සිටියේ ‘වසර ගණනාවක අමිහිරි යුදමය වතාවරණයකින් පසු ජනවාර්ගික සංහිඳියාව ගොඩනගමින් පවතින අවධියක මෙවැනි වූ කුමන්ත්‍රණකාරි චිත්තවේගි ආකල්පයන් සහිත පුද්ගලයින්ගේ කටකතා, කඩාකප්පල්කාරි ක්‍රියාවන් හේතුවෙන් මෙය බිඳවැටීමට තුඩදුන් බවත් සියළුම ව්‍යාපාරික ප්‍රජාවෙන් එවැනි කටකතා පැතිරීම වලක්වාගැනීමට එක්ව ඒකාබද්ධ බලවේගයක් ලෙසින් ක්‍රියාකරන ලෙස ආයාචනා කල අතර බුද්ධිමත්ව හා පුළුල් පරාසයකින් සිවිල් ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා ක්‍රමෝපායන් සකස් කිරීමට යුද්ධ හමුදාව කටයුතු කරන බවත්ය’.

“සාමය නැවත ස්ථාපිත කිරීමේ වගකීම ආරක්ෂක හමුදාවන් සහ පොලීසිය පමණක් නොවේ එය ඔබ සියළුදෙනාගේ වගකීම බවත් ගැටුම්කාරි තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් ඔබ සියළුදෙනාගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අපගේ වගකීම බවත් ඔබගේ ප්‍රදේශයන්හි ව්‍යාපාරික ස්ථාන සියල්ලේම ආරක්ෂාව සහතික කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා අපි ශක්තිමත් බවත් අවශ්‍ය නම් ඔබේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මම පියවර ගන්නා බවටත්” යුද්ධ හමුදාධිපතිතුමන් සහතික කළහ.

“අනාගතයේදී මෙවැනි තත්ත්වයන් වැලක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම අතිශයෙන් වැදගත් බවත් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් විනාශයට පත් ගොඩනැගිලි අවම වශයෙන් අප්‍රේල් මස අග වන විට ආරක්ෂක හමුදාව රජය විසින් වෙන් කරන ලද අරමුදලෙන් ප්‍රතිසංස්කරණය කරදීමට තීරණය කර ඇති බවත් එමෙන්ම රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව යුද්ධ හමුදාව සෑමවිටම කැපිපෙනන කාර්යභාරයක් ඉටු කිරීමට සුදානමින් සිටින බවත්” යුද්ධ හමුදාධිපති තුමන් මෙහිදි අවධාරණය කළහ.

තවද, “අපේ ජාතියේ හා අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය උදෙසා සාමය සෑමවිටම ආරක්ෂා කල යුතු බවත් අනාගත පරම්පරාවට තවත් ලේ වැගිරවීම් උරුම කර නොදිය යුතු බවත් රාජ්‍ය හදිසි නීතිය ක්‍රියාත්මක කළද, ආරක්ෂක හමුදාවන් විසින් කිසිදු පුද්ගලයෙකුට අපහසුතාවයක් ඇති නොකිරීමේ අරමුණින් අවම බලය යොදවනු ලබන බවත් අවශ්‍ය අවස්ථාවලදී අප ඔබ පසුපස සිටිනු ඇති බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් අවධාරණය කළහ.

මෙම ඒකාබද්ධ සාකච්ඡාව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට ආරාධනා කළහ. මෙහිදි ව්‍යාපාරිකයින් විසින් පැනනැගු ප්‍රශ්න අතර මහනුවර නගර සීමාව තුල ඇඳිරි නීතිය පැනවීම සහ හානියට පත් වූ ගොඩනැගිලි නැවත‍ප්‍රතිසංස්කරණය කිරීම යන කරුණු ප්‍රධාන විය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම්වරයා හමුවූ අතර, ව්‍යාපාරිකයින් විසින් පැනනැගු ප්‍රශ්න පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කළහ.

මෙම සංචාරය සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ද එක්ව සිටියහ.

latest Running | Nike for Men