Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2017 16:00:19 Hours

යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තම අනුප්‍රාප්තිකයා වෙත සංකේතාත්මකව යෂ්ටිය භාරදෙමින් යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම යයි

යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.

රථ පෙළපාලියකින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමා, හමුදා ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී නව යුද්ධ හමුදාධිපතිතුමා විසින් පිළිගනන්නා ලදි. ඉන් අනතුරුව නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමා විසින් රාජකාරින් භාරදීමේ නිලලේඛණවලට අත්සන් තැබූ අතර, අනතුරුව සංකේතාත්මකව යෂ්ටිය නව යුද්ධ හමුදාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. හමුදාපති කාර්යාලයේ තැන්පත් කර ඇති නික්ම යන හමුදාධිපතිවරයාගේ ඡායාරූපය නිරාවරණය කිරීම සඳහා ද ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ආරාධනා කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.

මෙම නිල උත්සවය අවසානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් හමුදාපති කාර්යාලය ඉදිරිපිට පෙළගැසි නික්ම යන යුද්ධ හමුදාධිපතිවරයා වෙත සුභ පැතුම් එක් කළහ.

ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2015 පෙබරවාරි මස 22 වන දින 21 වන යුද්ධ හමුදාධිපති ලෙස තම රාජකාරි ආරම්භ කළ අතර, සිය සේවා කාලය තුල දී ජාතික අවශ්‍යතාවයන්, විපත් සහ හදිසි ආපදා තත්වයන් වැනි අවස්ථාවන් හි දී මුදවා ගැනිමේ සහ සහන මෙහෙයුම් කටයුතු සඳහා භට පිරිස් යොදවමින් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

එමෙන්ම, කොස්ගම අවි ගබඩාවේ පිපිරිම සහ මීතොටමුල්ල කුණු කන්ද නායයෑම ආදියෙන් සිදු වූ විපත් තත්වයන් තුල දී මිනිස් ජීවිත බේරාගැනීම මෙන්ම ජන ජීවිතය යථාත්තවයට පත්කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය ලබාදුන් අතර, ඩෙංගු මර්ධනය, නිවාස ඉදිකිරිම්, නැවත පදිංචි කිරිම් ආදි විවිධ ජාතික වැඩසටහන් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ අතර, භට පිරිස් වෙනුවෙන් විවිධ සුබසාධන ව්‍යාපෘතින් රැසක් ද දියත් කරනු ලැබීය.

ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද්ධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර, විවිධ මට්ටමේ අණදීම්, මාණ්ඩලික සහ උපදේශක තනතුරු දරා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වේ. මීට දින කිහිපයකට පෙර දී ජෙනරාල් නිලයට උසස් කළ එතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබීය.

Buy Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth