Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2018 14:10:32 Hours

යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික පිරිසක් හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සුදානමින්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම්වල අඟහරුවාදා (22) දින වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සමඟින් නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් නිරතව සිටියි.

ඒ අනුව, හිනිදුම, පාලින්දනුවර, කඹුරුපිටිය, රත්නපුර සහ පුත්තලම යන ප්‍රදේශයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගයන් බොහෝමයක් ජලයෙන් යටවී ඇති අතර මේ වනවිටත් යුද්ධ හමුදා සාමාජිකයින් බෝට්ටු 25 ක් සමඟ සහන මෙහෙයුම් සඳහා යොදවා ඇත. එමෙන්ම, ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා මෙන්ම විපතට පත්වන ජනතාව මුදවා ගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සමඟ සම්බන්දතාවයෙන් යුතුව කටයුතු කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් 1000 කට අධික පරිසක් සුදානම් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව, ඇතිවී ඇති හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට මෙන්ම පිසූ ආහාර ලබාදීමට ද යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

මේ අතර, ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි ගලවාගැනීමේ යාත්‍රා 25 ක් සමඟින් නාවික හමුදා භට පිරිස් සියගණනින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි. තවද නාවික භටයින් 620 සහ ගුවන් භටයින් 270 ක් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සුදානම් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කරන ලදි.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 141 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් 12 දෙනෙකු මල්වාන, පාහුරුඔය ප්‍රදේශයේ බිඳිගිය කැලණි ගඟේ බැම්ම වැලි කොට්ට අතුරා ජලය කාන්දුවීම වලක්වාගැනීමට සමත් විය.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භට පිරිස් නාවලපිටිය ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා සහයෝගය ලබාදුනි.

111 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සනත් අලුවිහාරේ ගේ අධීක්ෂණය මත 2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් නාවලපිටිය ප්‍රදේශයේ විශාල වශයෙන් නාය යෑමට ලක්විය හැකි කිතුල් කොට්ටේ, ජයසුන්දරගම සහ ලබුවැලිකොටුව යන ප්‍රදේශයන්හි ජනතාව නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය, ජයසුන්දරගම ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ලබුවැලිකොටුව මුස්ලිම් පල්ලියේ තාවකාලිකව නවාතැන් ලබාදීමට කටයුතු කළහ.

එමෙන්ම, සෝලන්කන්ද ප්‍රදේශයේ ජිවත්වන ජනතාව ද එම ප්‍රදේශයෙන් ඉවත් කර සෝලන්කන්ද ක්‍රිස්තියානි පල්ලියේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලබාදීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

Asics shoes | adidas Yeezy Boost 350