Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2018 15:25:15 Hours

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (29) දින උදෑසන සරල උත්සවයකින් රාජකාරි අරඹනු ලැබීය.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි සිදුකල අතර ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු අධිපති ධුරය ද හොබවනු ලබයි.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිය ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

වර්ෂ 1983 අප්‍රේල් මස 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳුණු නව මාණ්ඩලික ප්‍රධානී අනතුරුව, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 18 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්වීමෙන් පසු 1984 නොවැම්බර් මස 7 වන දින ගැමුණු හේවා බලඇණියට එක්විය.

වසර 30 කට නොවැඩි සේවා කාලය තුල යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 521 බලසේනා මුලස්ථානයේ බලසේනා මේජර්, අධ්‍යක්ෂ මනෝවිද්‍යා මෙහෙයුම්, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරි උපදේශක, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අණදෙන නිලධාරි, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වැනි මාණ්ඩලික තනතුරු රාශීයක් ද හොබවා ඇත.

එසේම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන්ද රාජකාරි කටයුතු කල ඔහු, ඊට පෙර 23, 65 සහ 54 වන සේනාංකයන්හි සේනාංකාධිපති ලෙසද 533 සහ 512 බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරයා ලෙසද 8 වන සහ 5 වන ගැමුණු හේවා බලඇණි වල අණදෙන නිලධාරි ලෙසද ක්‍රියාන්විත තනතුරු රැසක් හොබවා ඇත.

දක්ෂ ක්‍රිඩකයකු වන ඔහු පැසි පන්දු ක්‍රිඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම ආරක්ෂක සේනා ස්කොෂ් තරඟාවලියන් ද නියෝජනය කර ඇති අතර නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කඳාන ද මැසනඩ් විදුහලේ කීර්තිමත් ආදී සිසුවෙකු ද වේ.

Best Nike Sneakers | Nike, adidas, Converse & More