Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 18:34:53 Hours

යුද්ධ හමුදා ගෞරව ආචාර සහ උණුසුම් පිළිගැනීම් මැද පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මෙරටට සුහද සංචාරයක් සඳහා සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින උදෑසන හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩංගනයේ දී පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාල පිවිසුම් දොරටුව අභීයස දී යුද සේවා ලේකම්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් විසින් පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීම සඳහා යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අතර පැවැති සුහද හමුවේදී දෙරට හමුදාවන් සබැඳි අදහස් හුවමාරු කරගන්නා ලදි. මෙම සුහද හමුව සඳහා පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි (Brigadier Iftikar Hassan Chauhadary) සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී ද එක්ව සිටියහ.

වර්තමානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් උදෙසා ක්‍රියාත්මකවෙමින් පවතින පුහුණුවීම් සහ ඉදිරියේදී තවදුරටත් එම අවස්ථාවන් පුළුල් කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර, ඉන්දියව සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය වැනි ද්වීපාර්ශවිය යුධ අභ්‍යාසයන් සිදුකිරීමේ හැකියාවන් පිළිබඳවද අවධානය යොමුකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසල්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම සාකච්ඡාවේ දී පකිස්තානු හමුදාධිපතිතුමන් සහාය පල කරන ලද අතර, විවිධ පුහුණු උපදේශක පාඨමාලාවන් සඳහා ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින්ට තවදුරටත් අවස්ථා සැපයීමට කැමැත්ත පල කළහ. කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අවස්ථාවන් වැඩිකිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට ලක්විය.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වර්තමාන කාර්යභාර්ය සබැඳිව ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදා ප්‍රධානීන්, සංචාරක නියෝජිත පිරිස සහ යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරින් සමඟින් සමුහ ඡායාරූපයකට පෙනී සිටියහ. මේ අතර, සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවීමෙන් අනතුරුව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් බදාදා (17) දින හමුවීමට නියමිතව ඇත. සංචාරක පකිස්තානු නියෝජිත පිරිස අඟහරුවාදා (16) දින සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරතවීමට ද නියමිතව ඇත.

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ;

වර්ෂ 1960 නොවැම්බර් මස 11 වන දින කරච්චි නුවර දී උපත ලබා ඇති පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa), වර්ෂ 1980 ඔක්තෝම්බර් මස 24 වන දින පාබල හමුදා බලෝච් රෙජිමේන්තුවේ (Baloch Regiment) අධිකාරිලත් නිලධාරියෙකු ලෙස තම යුද්ධ හමුදා දිවිය ආරම්භ කර ඇත. ටොරෝන්ටෝහි කැනේඩියානු අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇති එතුමන් ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුධ අධ්‍යයන පිළිබඳව පශ්චාත් උපාධියක් ද හදාරා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි නාවික පශ්චාත් උපාධි විශ්ව විද්‍යාලයේ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි කළමනාකරණ පාඨමාලාව ඇතුළු දේශීය හා විදේශීය විවිධ පාඨමාලාවන් රැසක් ද ඔහු විසින් හදාරා ඇත. තම මව් ඒකකයට ද පසු කාලයක දී අණදුන් එතුමන් පාබල බලසේනාවක බලසේනාධිපති ධුරය ද හේබවිය. උතුරු ප්‍රදේශයේ හමුදා අණදෙන නිලධාරි වශයෙන් ද පකිස්තානු හමුදා 10 වැනි බලකායේ සේනාවිධායක ලෙස ද රාජකාරින් ඉටුකර ඇති ඔහු ක්වේටාහි පාබල හමුදා යුධ ශීල්ප අධ්‍යයන පාසලේ සේනාවිධායක වශයෙන් ද රාජකාරි කටයුතු ඉටුකර ඇත.

පාබල හමුදා යුධ ශීල්ප පුහුණු පාසල, ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අණ හා මාණ්ඩලික පුහුණු පාසල ඇතුළු කීර්තිමත් යුද්ධ හමුදා ආයතනයන්හි ද උපදේශක රාජකාරි ඉටුකරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති එතුමන් පාබල බලසේනාවක බලසේනා මේජර්වරයෙකු වශයෙන්ද සැලසුම් මාණ්ඩලික නිලධාරි I සහ හමුදා බලකා මාණ්ඩලික ප්‍රධානී වැනි මාණ්ඩලික රාජකාරි තනතුරු රැසක් ද හොබවා ඇත.

සවුදි අරාබියේ දුත රාජකාරින්හි අවුරුදු 3 ක කාලසීමාවක් ද තම රාජකාරින් ඉටුකර ඇති ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) කොංගෝ රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් හී පකිස්තානු හමුදා බළඇණියේ අණදෙන නිලධාරියා වශයෙන් ද රාජකාරි කර ඇත. පකිස්තානු යුද්ධ හමුදාවේ ප්‍රධානී ලෙස පත්වීමට පෙර එතුමන් පුහුණු හා අධ්‍යයන පර්යේෂක ජෙනරාල්වරයා වශයෙන් පකිස්තානු හමුදා මෙහෙයුම් සහ පුහුණු සැලසුම් ක්ෂේත්‍රයන්හිද රජකාරින් ඉටුකර ඇත. එතුමන් 2016 නොවැම්බර් මස 30 වන දින පකිස්තානු හමුදා ප්‍රධානීයා ලෙස රාජකාරි භරගෙන ඇත.

යුද්ධ හමුදාවට සම්බන්ධ පවුල් පසුබිමකින් යුතු එතුමන් රාවල්පින්ඩිහිදි තම පාසල් අධ්‍යාපනය හදාරා ඇත. දෙදරු පියකු වන එතුමන් පොත්පත් පරිශීලනයට ලැදි ගොල්ෆ්, පිහිනුම් සහ දඩයම් ක්‍රීඩාවේ ඇල්මක් දක්වන්නෙකු ලෙස ද ප්‍රචලිතය. ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති එතුමන් ලෝක සංස්කෘතීන් සහ ශීෂ්ඨාචාරයන් පිළිබඳ අධ්‍යයනයට ලැදිකමක් දක්වයි.

affiliate link trace | Women's Nike Superrep