Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2018 12:10:08 Hours

පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, අඟහරුවාදා (22) දින ආගමික වතාවත් මධ්‍යයේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අරුණ දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, ‘කන්ඩුල’ හස්ති රාජයා පෙරටු කරගත් පාබල හමුදා භට පිරිස්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද නව රෙජිමේන්තු අධිපතිතුමන්හට පිරිනැමු අතර පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන්නා සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සමඟින් නව රෙජිමේන්තු අධිපතිතුමන් පෙළපාලිය නිරීක්ෂණය කළහ.

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ශ්‍රී ලංකා පාබල හමුදාවේ දිවිපිදු නිලධාරින් සහ සෙසුනිලයින් සිහිපත් කරමින් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කළහ.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු මූලස්ථානයේ කාර්යමණ්ඩලය ඉදිරියේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

නව රෙජිමේන්තු අධිපතිතුමන් සෙසුනිල භෝජනාගාරයේ දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතමින් එතුමන්ගේ සිය දැක්ම පැහැදිලි කළහ. අනතුරුව, එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රාහයක් සඳහා ද සහභාගි වූහ.

නව රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරින් සමඟින් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදී සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මීට දින කිහිපයකට ඉහත දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

bridge media | Nike