Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 18:52:41 Hours

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා සඳුදා (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.

දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරක දුත පිරිසට ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සහ එම මැතිණිය අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය (Mrs Ayesha Amjad Begum) සමගින් පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි (Brigadier Iftikar Hassan Chauhadary), නෂීයා ඉෆ්තිකර් බේගම් මහත්මිය (Mrs Nazia Iftikhar), පකිස්තානු හමුදාධිපති අධි සහායක ලුතිනන් කර්නල් අෂිෆ් හෂ්මාට් (Lieutenant Colonel Asif Hashmat) සහ කපිතන් කශාන් සයීඩ් (Captain Kashan Saeeed) ද එක්ව සිටියහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය විසින් ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සහ අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය (Mrs Ayesha Amjad Begum) ඇතුළු සංචාරක හමුදා දුත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ දී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් අඟහරුවාදා (16) දින පිරිනැමීමට නියමිත අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් ද හමුවීමට නියමිතය. මීට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ.

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ;

වර්ෂ 1960 නොවැම්බර් මස 11 වන දින කරච්චි නුවර දී උපත ලබා ඇති පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa), වර්ෂ 1980 ඔක්තෝම්බර් මස 24 වන දින පාබල හමුදා බලෝච් රෙජිමේන්තුවේ (Baloch Regiment) අධිකාරිලත් නිලධාරියෙකු ලෙස තම යුද්ධ හමුදා දිවිය ආරම්භ කර ඇත. ටොරෝන්ටෝහි කැනේඩියානු අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇති එතුමන් ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුධ අධ්‍යයන පිළිබඳව පශ්චාත් උපාධියක් ද හදාරා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි නාවික පශ්චාත් උපාධි විශ්ව විද්‍යාලයේ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි කළමනාකරණ පාඨමාලාව ඇතුළු දේශීය හා විදේශීය විවිධ පාඨමාලාවන් රැසක් ද ඔහු විසින් හදාරා ඇත. තම මව් ඒකකයට ද පසු කාලයක දී අණදුන් එතුමන් පාබල බලසේනාවක බලසේනාධිපති ධුරය ද හේබවිය. උතුරු ප්‍රදේශයේ හමුදා අණදෙන නිලධාරි වශයෙන් ද පකිස්තානු හමුදා 10 වැනි බලකායේ සේනාවිධායක ලෙස ද රාජකාරින් ඉටුකර ඇති ඔහු ක්වේටාහි පාබල හමුදා යුධ ශීල්ප අධ්‍යයන පාසලේ සේනාවිධායක වශයෙන් ද රාජකාරි කටයුතු ඉටුකර ඇත.

පාබල හමුදා යුධ ශීල්ප පුහුණු පාසල, ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අණ හා මාණ්ඩලික පුහුණු පාසල ඇතුළු කීර්තිමත් යුද්ධ හමුදා ආයතනයන්හි ද උපදේශක රාජකාරි ඉටුකරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති එතුමන් පාබල බලසේනාවක බලසේනා මේජර්වරයෙකු වශයෙන්ද සැලසුම් මාණ්ඩලික නිලධාරි I සහ හමුදා බලකා මාණ්ඩලික ප්‍රධානී වැනි මාණ්ඩලික රාජකාරි තනතුරු රැසක් ද හොබවා ඇත.

සවුදි අරාබියේ දුත රාජකාරින්හි අවුරුදු 3 ක කාලසීමාවක් ද තම රාජකාරින් ඉටුකර ඇති ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) කොංගෝ රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් හී පකිස්තානු හමුදා බළඇණියේ අණදෙන නිලධාරියා වශයෙන් ද රාජකාරි කර ඇත. පකිස්තානු යුද්ධ හමුදාවේ ප්‍රධානී ලෙස පත්වීමට පෙර එතුමන් පුහුණු හා අධ්‍යයන පර්යේෂක ජෙනරාල්වරයා වශයෙන් පකිස්තානු හමුදා මෙහෙයුම් සහ පුහුණු සැලසුම් ක්ෂේත්‍රයන්හිද රජකාරින් ඉටුකර ඇත. එතුමන් 2016 නොවැම්බර් මස 30 වන දින පකිස්තානු හමුදා ප්‍රධානීයා ලෙස රාජකාරි භරගෙන ඇත.

යුද්ධ හමුදාවට සම්බන්ධ පවුල් පසුබිමකින් යුතු එතුමන් රාවල්පින්ඩිහිදි තම පාසල් අධ්‍යාපනය හදාරා ඇත. දෙදරු පියකු වන එතුමන් පොත්පත් පරිශීලනයට ලැදි ගොල්ෆ්, පිහිනුම් සහ දඩයම් ක්‍රීඩාවේ ඇල්මක් දක්වන්නෙකු ලෙස ද ප්‍රචලිතය. ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති එතුමන් ලෝක සංස්කෘතීන් සහ ශීෂ්ඨාචාරයන් පිළිබඳ අධ්‍යයනයට ලැදිකමක් දක්වයි.

Sports brands | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes