Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2018 14:48:19 Hours

නව වෘත්තීන්හි නිපුණත්වය ලැබු රණක්ෂිතයට පත් රණවිරුවන්ට සහතික පත්

විවිධ වෘත්තීන් හී සාර්ථකව පුහුණු පාඨමාලා හදාරා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් සඳහා සුදුසුකම් ලැබු යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් 171 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය කිරීම උත්සවය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) හා සමීප සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි නවීන රණවිරු සම්පත් කේන්ද්‍රයේ (RRC) ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් ගෘහ විදුලි උපකරණ අළුත්වැඩියාව, වඩු කර්මාන්තය (ගොඩනැගිලි), විදුලි රැහැන්, ජලනල හා උපාංග, පරිගණක දෘඩාංග තාක්ෂණය, පරිගණක යෙදුම් සහකාර පාඨමාලා, ඇලුමිනියම් කර්මාන්තය, කෙස් ගැළපුම් හා රූපලාවන්‍ය ශීල්පය, ත්‍රී රෝද රථ හා මෝටර් බයිසිකල් අළුත්වැඩියාව යන වෘත්තීමය පුහුණු ක්ෂේත්‍ර ආවරණය කරමින් මෙම පුහුණු පාඨමාලා සාර්ථකව පවත්වනු ලැබීය.

වත්තල,හේකිත්ත පිහිටි මෙම නවීන රණවිරු සම්පත් කේන්ද්‍රයේ (RRC) ආබාධිත රණවිරුවන් 388 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ජාතික වෘත්තීය නිපුණතා සහතික පත් II,III & IV මට්ටම් හී පුහුණුව ලබමින් සිටින අතර, ඉන් අනතුරුව උපාධි සහතික මට්ටම දක්වා පුහුණුවීමට ඔවුන්ට අවස්ථාව සැලසේයි.

යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරෂු ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූහ.

නර්තනාංග සහ විනෝදාත්මක අංගයන්ගෙන් වර්ණවත් වූ සහතික පත් ප්‍රදානෝත්සවයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

2013 වර්ෂය ආරම්භයේ සිටම වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ සම්බන්ධීකරණයෙන් රණවිරු සම්පත් කේන්ද්‍රය (RRC) විසින් මෙම වෘත්තීමය පුහුණු පාඨමාලා පවත්නු ලබයි.

ආබාධිත රණවිරුවන් 127 දෙනෙකු දැනට ජාතික වෘත්තීය නිපුණතාමූලික පාඨමාලාවන් හදාරන අතර, ආබාධිත රණවිරුවන් 261 දෙනෙකුට වැඩි පිරිසක් ජාතික වෘත්තීය නිපුණතා පාඨමාලා අවසාන අධියර III සහ IV හදාරමින් සිටියි.

ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් හදුන්වාදෙන ලද ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතික සැලසුම් අධියර 7 ක් යටතේ ක්‍රියාත්මක අතර, 7 වන අධියර, ප්‍රථම උපාධි මට්ටම් සහතිකයක් ලෙස පිලිගනු ලබයි.

පැරණි ලාදුරු රෝහල් සංකීර්ණයට අයත් අක්කර 3.5 ක ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන 2012 මාර්තු 12 වන දිනමෙම ජාතික වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

සිකුරාදා (19) දින පැවැති ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් ප්‍රදානෝත්සවයේ දී සහතිකපත් ලාභි ආබාධිත රණවිරුවන් 171 දෙනාගෙන් 101 දෙනෙකු සංකේතාත්මකව සහතිකපත් ලබාගන්නා ලදි.

ආබාධිත රණවිරුවන්ට ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් ප්‍රදානය සඳහා ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉංජිනේරු ආචාර්ය ලයනල් පින්තු, රණවිරු සම්පත් කේන්ද්‍රය (RRC) සේනාවිධායක බ්‍රිගේඩියර් මංජුල මනතුංග සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්විය.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී පාඨමාලා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ ඍජු අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, යුධ බිමේ තුවාල ලබා විවිධ ආබාධිතයන්ට පත්වූ රණවිරුවන්ට ඔවුන්ගේ ඉදිරි ජිවිතය වඩාත් ඵලදායි අන්දමින් විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබමින් ගත කිරීමට මෙම ආයතනය මගින් පිටු වහලක් සැලසේයි.

ලාදුරු රෝහලේ අත්හැර දමා තිබු අදාළ බිම් කොටස රුපියල් මිලියන 60 ක ආයෝජනයෙන් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම නවීන රණවිරු සම්පත් කේන්ද්‍රය ස්ථාපනය කර ඇත.

අද වනවිට යුද්ධ හමුදා නිලධාරින් 2 ක් සහ ආබාධිත රණවිරුවන් 1174 දෙනෙකු මෙම රණවිරු සම්පත් කේන්ද්‍රයේ සාර්ථකව වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා තිබේ.

නුඳුරේදී සුදුසුකම් ඇති ආබාධිත රණවිරුවන්ට බේකරි සහ සම්භාණ්ඩ කර්මාන්ත, වායු සමීකරණ සහ ශීතකරණ අලුත්වැඩියාව, මැහුම් සහ ඇඳුම් නිර්මාණ, පරිඝණක ඔටෝ කැට් තාක්ෂණය ආදී වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කරමින් පවති.

Nike footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE